කවදාවත් දරුවන්ට හැමදේම ලියල දෙන්න එපා – අම්බානිටත් වඩා සුපිරි ධනවතෙක් වූ විජයපට් සිංහානියා මහ පාරට වැටෙයි

මුකේෂ් අම්බානිට හා ගෞතම් අදානිට වඩා ධනවතකු ඉන්දියාවේ සිටියේය. ඒ වැඩි කාලයක නොව අනූව දශකයේ මුල් භාගයේදීය. ජාත්‍යන්තර කීර්තියට පත් සුප්‍රකට ඉන්දීය රෙදිපිළි සමාගම වන රේමන්ඩ් සමූහ ව්‍යාපාරයේ හිටපු හිමිකරු ඔහුය.

එවකට ඉන්දියාවේ ධන කුවේරයන් පමණක් භාවිත කළ අතිසුඛෝපභෝගී මෝටර් රථ කිහිපයකම හිමිකරු ද විය. එහෙත් ඔහු අද ජීවත් වන්නේ කුලී නිවෙසකය. ගමන් බිමන් යන්නේ සාමාන්‍ය බස් රථවලය.

පද්ම භූෂණ ඇතුළු ඉන්දීය රජයේ ගෞරවනීය සම්මාන ද්විත්වයකට ද හිමිකම් කියන මේ ගෞරවනීය මිනිසා විජයපට් සිංහානියා ය. ජීවිතයේ විඳිය හැකි අපමණ යසඉසුරු විඳී මේ ධනවතා අද සිය ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය ගත කරමින් සිටින අසරණයකු ලෙසටය.

මේ වන විට 86 හැවිරිදි වියෙහි පසුවන විජයපට් සිංහානියාට එවැනි අභාග්‍යසම්පන්න ඉරණමක් අත්වූයේ අන් කිසිවක් හෝ නිසා නොව ඔහු සතු සියලු දේපළ හා වත්කම් බාල පුත්‍රයා ගෞතම් සිංහානියාට නීත්‍යනුකූලව පවරාදීම හේතුවෙනි.

බාල පුතු ගෞතම් සිංහානියා

පියවරුන්ගේ සහ පුත්‍රයන්ගේ අපරිමිත සෙනෙහස ගැන අපමණ උදාන පාඨ ලෝක ඉතිහාසයේ ලියැවී තිබුණද, විජයපට් සිංහානියා සහ ඔහුගේ බාල පුත්‍රයා ගැන නම් ලියැවී ඇත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ කතාවකි. හැම අතින්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඉන්දියාවේ මහා ධනවතකු මුදලට, බලයට ලොල් වූ පුත්‍රයකු විසින් පාරට ඇද දමනු ලැබූ අප්‍රසන්න කතාවකි.

ඉන්දිය රුපියල් කෝටි 15,000ක වත්කමක් සහිත රේමන්ඩ් සමූහ ව්‍යාපාරයේ හිමිකරුවා ලෙස විජයපට් සිංහානියාට එරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ පමණක් නොව දේශපාලන හා තවත් ක්ෂේත්‍ර ගණනාවක අත්කරගෙන සිටි කීර්තියට අභියෝග කිරීමට සමතෙකු අසූව දශකයේදී ඉන්දියාවේ සිටියේ ම නැත.

ව්‍යාපාරික ආධිපත්‍යයම තිබුණේ ඔහු අතය. ජාත්‍යන්තර වශයෙන් රටවල් රැසක ඔහුගේ සමාගමේ ශාඛා පිහිටුවා තිබිණි. මුම්බායි නුවර කේන්ද්‍ර කරගත් රේමන්ඩ් සමූහ ව්‍යාපාරයේ බලාධිකාරිය රට පුරා තවත් ප්‍රාන්ත රැසකට විහිදී ගියේය. ඔහු ජීවත් වූයේ මුම්බායි නුවර ධනවතුන් පදිංචි වී සිටින ප්‍රදේශයක පිහිටි තට්ටු 36කින් සමන්විත මන්දිරයකය. තිස්දහසකට අධික සේවක සංඛ්‍යාවක පවුල් නඩත්තු වූයේ විජයපට් සිංහානියාගේ ව්‍යාපාරය මඟිනි.

ලන්ඩන් නුවර තාක්ෂණික හා පර්යේෂණ ආයතනයෙන් ආචාර්ය උපාධියකට ද හිමිකම් කියන විජයපට් සිංහානියා වසර 1980 සිට 2015 දක්වා රේමන්ඩ් සමූහ ව්‍යාපාරයේ අධිපති ලෙස කීර්තිමත් ජීවිතයක් ගත කරමින් සිටියද ඔහු ලොව ප්‍රකට වූයේ සිය ව්‍යාපාරය තුළින් පමණක් නොවීය.

හෙතෙම අහස්යාත්‍රිකයකු ලෙස වාර්තා තැබූ පුද්ගලයෙකි. ඔහු වසර 1988දී කුඩා ‘මයික්‍රො ලයිට්‘ සැහැල්ලු වර්ගයේ ගුවන් යානයකින් දින 23ක් පුරා ලන්ඩන් නුවර සිට නවදිල්ලි නුවර බලා පියාසර කරමින් වාර්තාවක් තැබූ අතර, ඊට වසර කිහිපයකට පසු එනම් 2005දී වායු බැලූනයකින් අඩි 65,000ක් උඩු ගුවනට ගොස් තවත් වාර්තාවක් තැබුවේය.

එය ලෝක වාර්තාවකි. ඔහුගේ මේ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සහ ව්‍යාපාරය තුළින් අත්කර ගත් කීර්තිය නිසාම ඊට වසරකට පසු මුම්බායි නුවර ශෙරිෆ්වරයා ලෙස පත් කිරීමට ද ප්‍රාන්ත රජය පියවර ගෙන තිබිණි.

ඒ වන විට 67 හැවිරිදි වියෙහි පසු වූ විජයපට් කොතරම් වික්‍රමාන්විත හා නිර්භීත පුද්ගලයකුදැයි සිතාගත ගැනීමට එය ප්‍රමාණවත්ය. අද අන්තිම අසරණ තත්ත්වයකට ඇද වැටී සිටින්නේ එවැනි ප්‍රතාපවත් මිනිසෙකි.

නොසැලෙන අධිෂ්ඨානයකින් සහ පුළුල් ව්‍යාපාරික ඥානයකින් යුතුව සිය පියාගෙන් ලද රේමන්ඩ් සන්නාමය ඉන්දීය ජාතිකයන් අතර නොමැකෙන නාමයක් බවට පත් කළ විජයපට් සිංහානියාට සිය බාල පුත්‍රයාගේ සටකපට හා හිත්පිත් නැති ගති පැවැතුම් හඳුනා ගැනීමට බොහෝ කාලයක් ගත වූයේ පීතෘ සෙනෙහසින් සියල්ල යටපත් වීම නිසා වන්නට ඇත.

වසර 2006දී එවකට ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් අතින් පද්මභූෂණ සම්මානය ලබා ගනිමින්.

විජයපට් සිංහානියාට පුතුන් දෙදෙනකු විය. වැඩිමල් පුතු මධුපති ය. ආරම්භයේදී රේමන්ඩ් ව්‍යාපාරයේ කොටස් සමසමව දෙදෙනාටම පැවරූ විජයපට් තවත් කොටසක් ඔහුගේ භුක්තියට තබා ගත්තේය.

රේමන්ඩ් සමූහ ව්‍යාපාරයේ ජාත්‍යන්තර ශෘඛා ජාලය සියතට ගත් වැඩිමල් පුතු මධුපති සිය පවුලේ සාමාජිකයන් සමඟ සිංගප්පූරුවට ගොස් පදිංචි වූයේ එහි සිට ව්‍යාපාර කටයුතු මෙහෙය වීමටය. පසුකාලීනව ඔහු එරට පුරවැසිභාවය ද ලබා ගත් අතර, වරින්වර තමාට අයත් සෙසු ව්‍යාපාරික කොටස් ඉල්ලා පියාට කරදර කිරීමට ද පටන් ගෙන තිබිණි. බාල පුතු ගෞතම් ඒ වන විට ඉන්දියාවේ රේමන්ඩ් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස පත්ව සිටි අතර, ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරමින් සමාගම තුළ සිය ආධිපත්‍යය පතුරුවාලීමට පටන් ගෙන තිබිණි.

සියල්ල ආරම්භ වූයේ මධුපතිගේ දරුවන් සිවුදෙනා ඔවුන්ගේ උරුමය ඉල්ලා සීයාට එරෙහිව මුම්බායි මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමත් සමඟය.

විජයපට් සිංහානියා රේමන්ඩ් සමූහ ව්‍යාපාරයේ තමා සතු 37% කොටස් ද බාල පුත්‍රයාට පැවරීමට තීරණය කළේ පවුලේ උරුමය ඉල්ලා වැඩිමල් පුත්‍රයාගේ දරුවන් දැමූ නඩුවෙන් බේරීමටය. සියල්ල උඩුයටිකුරු වූයේ ඉන් පසුවය. අවසානයේදී බාල පුතු රේමන්ඩ් ව්‍යාපාරයේ සම්පූර්ණ අයිතිය අත්කර ගත්තා පමණක් නොව පියාගේ සුපිරි මන්දිරය ද අත්පත් කරගත්තේය. විජයපට්ගේ සමකාලීන ව්‍යාපාරික මිතුරන් කියන්නේ ‘කර්මය‘ ඔහු පසුපස පැමිණි බවය.

මේ දේපොළ ආරවුලෙන් පවුලේ බැඳීම තවදුරටත් පළුදු වූ අතර, සුපිරි මන්දිරය තමා සන්තකයේ තබා ගැනීමට පියාට එරෙහිව ඕනෑම මුදලක් වියදම් කිරීමට තරම් පුත්‍රයා දරුණු වී සිටියේය. රේමන්ඩ් සමාගමේ තමා සතු කොටස්වල අයිතිය නීත්‍යනුකූලවම ගෞතම්ට පවරා තිබූ බැවින් පුතාට එරෙහිව උසාවි යෑමේ අවස්ථාව ද පියාට අහිමි වී තිබිණි.

‘මම මවුපියන්ගෙන් ඉල්ලන්නේ හැම දෙයක්ම තමන්ගේ දරුවන්ට දෙන්න කලින් හැම අතින්ම පරිස්සම් වෙන්න කියලයි. මම කියන්නේ නෑ දෙන්න එපා කියලා. මම කියන්නේ දෙන්න හැබැයි ඔබ මැරුණට පස්සේ අයිතිවෙන විදියට. නැතුව මම වගේ ජීවත්වෙලා ඉන්න කාලේදිම අයිතිවෙන විදිහට නෙවෙයි. නැත්නම් මට වගේම ඔබටත් වන්දි ගෙවන්න සිද්ධ වේවි. මගේ ජීවිතයේ කරපු ලොකුම අත්වැරදීම තමයි හැම දෙයක්ම දරුවන්ට ලියා දුන්නු එක.‘මුම්බායි නුවර කුලී නිවෙසේ සිට නිස්සාර ජීවිතයක් ගත කරමින් සිටින විජයපට් සිංහානියා එසේ කියයි.

රේමන්ඩ් සමූහ ව්‍යාපාරය තනිකරම සිය බූදලයක් කරගත් ගෞතම් සිංහානියා ජීවිතයෙන් අතැර දැමුවේ ඔහුගේ පියා පමණක් නොවිය. දශක 3කට ආසන්න කාලයක් තම සෙවණැල්ල මෙන් සිටි බිරිය නවාස් මෝදිවත් ඔහු දික්කසාද කර දැමුවේය. ඒ වන විටත් දියණියන් දෙදෙනකුගේ පියකු වූ ‍ගෞතම්ට සියල්ලට වඩා ධනය හා බලය වටිනා බව ඊට තවත් නිදසුනක් විය.

සිය ගුවන්යානා වික්‍රමයෙන් පසු 1990දී එවකට ගුවන් හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි එයාර් චීෆ් මාෂල් එස්.කේ. කොවුර් වෙතින් ගෞරවනීය ගුවන් කොමදෝරු තනතුර භාර ගනිමින්.

ගෞතම් සිංහානියා විවාහ වූයේ ඉන්දියාවේ ප්‍රකට නීතිඥවරයකු වූ නාදර් මෝදිගේ දියණිය සමඟය. නවාස් මෝදි පියා මෙන්ම නීතිය හැදෑරුවද, ඇගේ වැඩි කැමැත්ත තිබුණේ ශාරිරීක යෝග්‍යතාව පිළිබඳ හැදෑරීමටය.

ඇය එම ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු මුම්බායි නුවර ශාරිරීක යෝග්‍යතා මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර, අනූව දශකය අගභාගයේදී දෙදෙනා විවාහ වීමෙන් පසුව ඇය පූර්ණ කාලීනව රේමන්ඩ් ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක් බවට පත්වූවාය. ගෞතම් ඇය දික්කසාද කර දැමුවේ ඇය සිය බලය ප්‍රමාණයට වඩා භාවිත කරන බව කියමිනි. එහෙත් සැබෑව නම් ඇය සිය සැමියා මාමණ්ඩියට කළ අපරාධය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමය. 

ඉන් උරණ වූ ගෞතම් ඇයට පහර දුන් බවටත්, නීතිය දැන සිටි ඇය ගෘහස්ථ හිංසනයට එරෙහිව උසාවි ගිය බවටත් වාර්තා පළ වී තිබිණි. ඉන් නොනැවතී ඇය තමාට සහ දියණියන් දෙදෙනාට වන්දි වශයෙන් සැමියාගේ වත්කමින් 75%ක් ඉල්ලා නඩු දැමුවාය.

‘ලේලි වන්දි ඉල්ලනවා දුවලා දෙන්නටත් එක්ක. මට කරන්න පුළුවන් එකම දේ දෙවියන්ට කන්නලව් කරන්න විතරයි. දෙවියන්ට විතරයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. මම දන්න විදිහට හින්දු විවාහ පනතට අනුව දෙන්නෙක් දික්කසාද වුණාට පස්සේ සැමියාගේ වත්කමින් 50%ක් ඉබේටම බිරියට අයිති වෙනවා. ඒක ඕනෑම කනිෂ්ඨ නීතිඥවරයකුට වුණත් ලේසියෙන් දිනන්න පුළුවන් වන්දි නඩුවක්. ඒකට ලොකුවට සටන් කරන්න ඕන නෑ. ඒත් ඇයි එයා 75%ක් ඉල්ලන්නේ. ගෞතම් කවදාවත් එයාට 75%ක් දෙන්නේ නෑ. එයාගේ අභිප්‍රාය හැමකෙනෙක්වම මුදලට ගැනීමයි. හැම දෙයක්ම මුදලට ගැනීමයි. එයා මට කළෙත් ඒ ටිකම තමයි. මට සල්ලි තිබ්බේ නෑ… පුතා එක්ක නඩු කියන්න. ගෞතම්ගේ සල්ලිවලට ඔක්කොම යටයි. ගෞතම් කවදාවත් කාටවත් ඇහුම්කන් දෙන්නේ නෑ. එයා කරන්නේ එයාට ඕන දේ විතරයි. ඒකට නීතියෙන් ඉඩක් ලැබෙන්නේ නැතිනම් එයා නීතියත් මුදලට ගනීවි. මොකද කාට හරි රුපියලක් වුවමනා කරනවා නම්.. එයා ඒ වෙනුවට රුපියල් 5ක්ම දෙනවා. එයාට පවුලක් නෑ. අම්මා තාත්තා ගැන ගාණක් නෑ. මාව එලවලා දැම්මට පස්සේ තට්ටු 36 මන්දිරයේ එයා ජීවත් වෙන්නේ තනිවමයි.’ විජයපට් සිංහානියා එසේ කියන්නේ අතිශය වේදනාවෙන් යුතුවය.

විජයපට් සිංහානියා ව්‍යාපාරිකයකු හා අහස්යාත්‍රිකයකු පමණක් නොව අතිදක්ෂ ලේඛකයෙකි. ඔහු දින 23ක් පුරා ලන්ඩන් නුවර සිට නවදිල්ලි නුවර බලා පියාසර කිරීමේ වීර චාරිකාව අළලා An Angel in the Cockpit’ නමින් සිය පළමු ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. වැඩි ජනප්‍රියත්වයට පත්වූයේ ජීවිතය බිඳවැටුණාට පසු පළ කළ An Incomplete Life ස්වයංචරිත­ාපදාන කෘතියයි. එහි ඔහුගේ ජීවිතයේ සියලු දුක් වේදනා සටහන් කර තිබිණි.

‘ඒක මතභේදයට තුඩු දුන්නු පොතක් වුණා. මගේ පොත ගැන මම ගුණදොස් කියන එක හරි නෑ. ඒත් මම මේ පොතේ ලියපු හැමදේම ඇත්ත. කාටවත් ඒ පොතේ කිසිම පරිච්ඡේදයක් අභියෝගයට ලක් කරන්න බෑ’ ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *