මෙරට විශාලතම මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ වන්දනාවට විවෘත වෙයි

මහනුවර, පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම මෛත්‍රී බෝසත් පිළිම වහන්සේගේ ප්‍රතිමාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණි.

පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශ්වයේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක රාජාංගනයේ සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රතිමාව ඉදි කර ඇති අතර මෙහි උස අඩි 34ක් වේ. රුපියල් මිලියන 08ක වියදමින් ඉදිකොට ඇති මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ වාස්තු නිර්මාණ ශිල්පී ඩබ්ලිව්. එම්. ආරියරත්න කලාකරුවා විසිනි.

පිළිමය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව මෙත් බෝ වන්දනා ග්‍රන්ථය දොරට වැඩුමද සිදු කරන ලද අතර මීට සමගාමීව පූජ්‍ය බටගල්ලේ ධම්මරතන හිමි සහ පූජ්‍ය දියසෙන්පුර විනීත හිමියන්ගේ සහභාගිත්වයෙන් පස්වරුවේ බෝධි පූජාවක්ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා උඩරට අමරපුර ශාසන ජෝතික මහා නිකායේ මහානායක, ඕස්ටේ්‍රලියාවේ ප්‍රධාන සංඝ නායක, පේරාදෙණීය සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති වත්තේගම ධම්මාවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ උදයන කිරිඳිගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නාමල් රාජපක්ෂ, යදාමිණී ගුණවර්ධන, මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතීරා එස්. ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

One thought on “මෙරට විශාලතම මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ වන්දනාවට විවෘත වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *