නිරන්තරව සිදු වන අකුණු අනතුරු නිසා පීඩාවට පත්ව සිටින ගමක් ගැන අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටකන්ද ප්‍රදේශයෙන් වාර්තා වේ. පිටකන්ද හේවාහැට ගමේ පවුල් 300ක් පමණ මේ තත්ත්වය නිසා බලවත් පීඩාවට ලක් වී සිටිති.
වර්ෂාව ඇදහැලෙන විට නිවෙස්වල ඇඳන් හෝ පුටු උඩට වී කාලය ගත කරන අතර එළියට නොයන බව ගම්වාසීහු පවසති. වර්ෂාපතනයක ලකුණු පහළ වෙද්දී ගමේ පාසලද දහම් පාසල පවත්වන දිනවලදී දහම් පාසලද වසා දමා සිසුන් නිවෙස්වලට ඉක්මනින් පිට කරයි. අකුණු අනතුරු නිසා නිවාස කීපයක් අත්හැරදමා තිබේ. අකුණු අනතුරු හේතුවෙන් මේ වන විට එම ගම්මානයේ මරණ 4ක්ද වසර කිහිපයක සිට වාර්තා වී ඇති අතර, ලක්ෂ ගණනක දේපළ හානි සිදු වී ඇති බව ප්‍රදේශවාසින් පවසති.
ගමේ පාසලේ අකුණු සන්නායකයක් සවි කර ඇතැත් අකුණු වැදීමේ අඩුවක් නැති බව ගම්වාසීහු ප්‍රකාශ කරති. එම සන්නාකයේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම ඊට හේතුව වේ. විහාරස්ථානය ඇතුළු බොහෝ නිවාසවලට අකුණු වැදීම හේතුවෙන් දේපළ හානි වී ඇති අතර, ගිය සතියේ දි සිදු වූ අකුණු අනතුරකින් දැරියක රෝහල්ගත කර තිබේ. නිවෙස්වල විදුලි ස්විචවලින් ගිනි බෝල විහිදෙන බවද ගම්වාසීහු පවසති.
නෑදෑගල ආරණ්‍ය සේනාසනාධිපති අයගම මුදිත හිමියෝ මේ තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ පැවසුහ:
“නිතරම මේ ගමට අකුණු අනතුරු ඇති වීමට හේතුව දුරකතන සංඥා කුලුනු දෙකක් හා විදුලි බලාගාරය විය හැකි බව අපේ විශ්වාසයයි. අකුණු වැදීම හේතුවෙන් ඇතැම් නිවාසවලට පූර්ණ වශයෙන් හානි සිදු වෙලා. ඒ නිවාසවල වෙසෙන පිරිස් එම නිවාස අත්හැර ගම්මානයේ වෙනත් ස්ථාන වෙත පදිංචි සදහා ගොස් තිබෙනවා. මා වැඩ සිටින කුටියටත් අකුණු අනතුරු සිදු වුනා. ආරණ්‍ය සේනාසනයේ විද්‍යුත් උපකරණවලටත් හානි වුණා. මෑතකදී අකුණු අනතුරු වු අවස්ථාවක මා කම්පනයට පත්ව වැටී සිටියදී අසල්වාසි නිවෙසක දෙදෙනකු පැමිණ මට ප්‍රථමාධාර දුන්නා…” අයගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අරුණ උපුල් පියසෝම මහතා:
“මේ තරම් අකුණු අනතුරු සිදු වීමට හේතු සොයා බලා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙසද අකුණු වැදීම්වලින් ගම ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන් ගෙන් අපි ඉල්ලා තිබෙනවා. යුද සමයේදී වාගේ මිනිසුන්ට ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ. මේ දිනවල වර්ෂාපතනය සමඟ අකුණු බිය වැඩි වෙලා. ගමේ අයගේ ප්‍රධාන ජීවනෝපාය දලු කැඩීම. අකුණු නිසා තේ වත්තක වැඩ කරගන්නත් හරියාකාරව නොහැකි වෙලා…”
ගම්වැසියකු වන නාලනි කුමාරි මහත්මිය:
“මේ ගම්මානය වැඩිම තේ ප්‍රමාණයක් තේ කර්මාන්තශාලා වෙත සපයන ගමක්. කුරුඳු, පුවක්, ගම්මිරිස්, පොල් ඇතුළු භෝග රැසක් මේ ගම්මානයේ ජනතාව වගා කර තිබෙනවා. මේ වන විට ජනතාව ගම අතහැර යෑමට උත්සාහ කරමින් සිටිනවා. බලධාරීන් දැනුවත් කළත් කිසි විසඳුමක් නෑ. ජීවිත අවදානමක් දරාගෙන අප දරුවනුත් එක්ක මේ ගම්මානයේ ජීවත් වෙනවා. මගේ නිවෙසත් කිහිප වරක්ම අකුණු අනතුරුවලට ලක් වුණා. විදුලි රැහැන් පිලිස්සී ගියා…”
මේ ගම්මානයට මෙලෙස නිරන්තරයෙන් අකුණු අනතුරු සිදු වීමට හේතුව සොයා බලා, තම ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
අයගම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ විමසීමකදී පැවසුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව මේ ගැන සොයා බලා අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.