නගර සභාවේ මුදල් දියණියගේ මංගල්‍යයට වියදම් කල නිලධාරිණියට වැඩ වරදියි

මහනුවර මහ නගර සභාවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 ක මුදලක් නගර සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරීමට රැගෙන ගිය බවට ලද පැමිණිල්ලට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මූල්‍ය වංචාවට අදාළව නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ නමුත් සිද්ධියෙන් මාසයකටත් වැඩි කාලයක් ගතවන තෙක්ම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් විය.

මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින නිලධාරිනිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අත්පත්තු මහත්මියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි.

සැකපිට අත්අඩංගුවට ගත් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *