කාලගුණය දැඩි වෙයි – අද මිලිමීටර් 150 ට වඩා වැසි ඇද හැලෙයි – පස් කන්දක් කඩා වැටී දෙන්නෙක් මිය යයි


දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇත.

මීට අමතරව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (01) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *