මහ වැස්සෙන් මිය ගිය ගණන 15 දක්වා ඉහළ යයි

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් මේ දිනවල දිවයිනට බලපා ඇති දැඩි වර්ෂාව හා තද සුළං හේතුවෙන් ඇති වූ ආපදා නිසා පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

රත්නපුර හා පුත්තලමෙන් මරණ 3 බැගින්, කොළඹින් මරණ 4ක්, ගාල්ල, බදුල්ල හා නුවරඑළියෙන් මරණ 1 බැගින් හා මාතරින් 2ක් ආදී ලෙස මේ මරණ වාර්තා වී ඇත. පුවක්පිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ සිටි එක ම පවුලේ තිදෙනෙකු ගංවතුරට හසුවීමෙන් මියගොස් ඇත. හැත්තෑඅට වියැති සීයා, තිස්හය හැවිරිදි මව හා ඇගේ හය හැවිරිදි දියණිය මෙසේ මියගොස් ඇත.

ජල ගැලීම්, ගස් කඩා වැටීම්, දැඩි සුළං, තද වැසි, අකුණු, ගල් පෙරළීම්, කණ්ඩි කඩා වැටීම් හා ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 177ක පවුල් 5,492ක පුද්ගලයන් 19,669ක් ආපදාවට ලක්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ හේතුවෙන් ගාල්ල හා පුත්තලමෙන් 5 බැගින්, අනුරාධපුර, බදුල්ල හා නුවරඑළියෙන් 2 බැගින්, මාතර, රත්නපුර, කළුතර හා හම්බන්තොටින් 1 බැගින් ආදී වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇතැයිද එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.

දිස්ත්‍රික්ක 8කින් පූර්ණ නිවාස හානි 28ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 17කින් අර්ධ නිවාස හානි 4119ක් ද වාර්තා වී ඇත. ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක 20න් දිස්ත්‍රික්ක තුනක ආරක්ෂිත ස්ථාන 7ක් ස්ථාපනය කර ඇති අතර ඒවායෙහි පවුල් 112කට අයත් පුද්ගලයන් 392ක් තාවකාලිකව රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වයංක්‍රිය වර්ෂාමාන මධ්‍යස්ථානයේ දත්ත අනුව ඊයේ (ජූනි 2) සවස් වන විට වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩට ය. එය සටහන් වී ඇත්තේ මිලි මීටර් 427.5ක් ලෙස ය. ඉංගිරිය හල්වතුරවත්ත ප්‍රදේශයට මිලිමීටර් 348.5ක්, මාතර අකුරැස්සට මිලි මීටර් 283.5ක්, සාලාවට මිලි මීටර් 280.5ක්, පාලින්ද නුවරට මිලි මීටර් 276ක් හා දෙරනගලට මිලි මීටර් 267ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර, සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අඟවා තිබේ.

එසේ ම පවතින සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු කරන ලබන පිරිස් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද දැනුම් දී ඇත.

කල්පිටිය සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ මට්ටම මීටර් 2.5 සිට මීටර් 3.5 දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවීමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත්කොට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් ‘ මව්බිම’ට පැවසීය.

නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කී ඔහු බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 150ට වඩා වැඩි ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් පැවසීය.

අද දිනයෙන් (ජූනි 3) පසුව පවතින වැසි තත්ත්වයේ තරමක අඩු වීමක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු කීය.

එමෙන් ම ඊයේ (ජූනි 2) වන විට කොළඹ මහ නගර සීමාවේ ඇති දැවැන්ත ගස් හතරක් කඩා වැටී ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ‘මව්බිම’ට පැවසුවාය.

අතු කඩා වැටීමේ සිදුවීම් තුනක් ද වාර්තා වූ බව ඇය කීවා ය. හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ දැවැන්ත ගසක්ද මේ අතර වන බව ද ඇය සඳහන් කළා ය.

මේ අතර, නාගලගම් වීදියේ පිහිටි නිවාස 12ක් ජල ගැලීම් හේතුවෙන් හානි වී ඇත.

ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සහන කණ්ඩායම් ද යොදවා ඇතැයි ද කෙටි දුරකතන අංක 110 ඇමතීමෙන් කොළඹ නගර සීමාවේ සිටින ආපදා සහන කණ්ඩායම්වල සහය ලබාගත හැකි යැයිද නාගරික කොමසාරිස්වරිය පැවසුවා ය.

අබුඩාබි නුවර සිට ඊයේ අලුයම 03.25ට ගොඩබැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.-394 ගුවන්යානයත්, සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළේ සිට අලුයම 04.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයත් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

ඒ වන විටත් හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශය තුළත් වැසි තත්ත්වය පැවැති බව සඳහන් කළ මත්තල ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා, එම ගුවන් යානා ඊයේ (ජූනි 2) දින අලුයම 04.15 පමණ වනවිට තම ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ද සඳහන් කළේ ය.

අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් යානයේ මගීන්, ගුවන් යානයෙන් පිටතට බස්සවා නොමැති අතර, ගුවන්යානය යළිත් ඊයේ උදෑසන 08.13ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එහෙත් සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානය තුළ සිටි මගීන් එම ගුවන්යානයෙන් පිටතට බස්සවා, අවශ්‍ය පහසුකම් එම මගීන්ට සලසා දීමෙන් අනතුරුව, එම ගුවන්යානය ද ඊයේ උදෑසන 10.50ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැළෙන තද වැසි හේතුවෙන් මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ළඟා වෙමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියෙක් පැවසීය.

එම ජලාශවල ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට එම ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද පෙරේදා (ජූනි 1) සවස් වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 08යි අඟල් 05ක් පහළින්ද, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 09යි අඟල් 03ක් පහළින් පවතින බව ද එම නිලධාරියා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *