ජූනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වූ බවය.
ඊයේ දිනය වන විට දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවය.
නිල්වලා ගඟ ද්‍රෝණියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවතින ගංවතුර ආරක්ෂණ බැම්ම උතුරා යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් මාලිම්බඩ, තිහගොඩ, මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන රැසක් ගංවතුර අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.
ඊට අමතරව කැලණි, කළු, ගිං යන ගංගා ද තවදුරටත් පිටාර ගලමින් පවතින අතර අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බව සඳහන්ය.
ගම්පහ නගරය සහ කඩුවෙල නගරය ද ඊයේ රාත්‍රී ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.