– තවත් නිර්මාණ 14ක හිමිකරුවෙක්
– සම්මාන උලෙළට රටවල් 67ක්
– දසිස් සම්මානයත් දිනාගෙන
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයෙන් තිරසර සංවර්ධන භාවිතය 2024 වසර සඳහා වූ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ආර්.එම්.හර්ෂ බණ්ඩාර මඩවල සිසුවා සමත් විය.
ජල කරාමයක් කැඩුණු විට ජලය අපතේ යෑම වැළැක්වීමට ඒ කරාමය අලුත්වැඩියා කරන තෙක් ප්‍රධාන ජල මාර්ගය අවහිර කිරීමෙන් සියලුම ජල කරාම අක්‍රියවීම නතර කිරීම සඳහා වූ සිතුවිල්ලට අනුව නිර්මාණය කළ“ කරාම කෙවෙනියට“ එම විශිෂ්ටතා සම්මානය හිමිවිය.
පසුගිය මස (මැයි) 11 වැනිදා සිට 17 වැනිදා දක්වා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පුරා දින නවයක් මේ තරගාවලිය හා ප්‍රදර්ශනය පවත්වනු ලැබූ අතර, ඒ සඳහා ලොව පුරා රටවල් 67ක් නියෝජනය කරමින් අවුරුදු 12ත් 20ත් අතර සිසු සිසුවියන් 700 දෙනෙක් සහභාගී වී ඇත. හර්ෂට ද එම අවස්ථාව හිමිවී ඇත්තේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පැවැත් වූ විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශන තරගාවලියේදී ලංකාවේ පාසල් 3කින් තෝරා ගත් සිසුන් තිදෙනෙකු අතරින් එකකු ලෙසිනි. ඔහු ඒ සඳහා නම් වූයේ යකඩ බඩු කඩයකින් මිලදී ගත් කුඩා සොකට් එකක් ඇතුළත කරාම කෙවෙනිය සවි කර ඇත්තේ අබලන් කරාමය ගැලවීමේදී ජලය අපතේ නොයන ලෙසත් කරාමයක් සවිකිරීමේදී අවහිරය ඉවත් වී ජලය සාමාන්‍ය ලෙස ගත හැකි වන ලෙස වැඩි දියුණු කළ “කරාම කෙවෙනිය“ නම් වූ විශිෂ්ට නිර්මාණය වෙනුවෙනි.
2020 වසරේදී සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් තරගාවලියේදී මේ නිර්මාණය ඇගැයීමට ලක්වූ අතර එහිදී පාසල් අංශයේ හොඳම නිර්මාණය සඳහා වූ දසිස් සම්මානයෙන්ද වැඩිදියුණු කළ කරාම කෙවෙනිය නම් නිර්මාණය සම්මානයෙන් පිදුම් ලැබීය. හර්ෂ බණ්ඩාර මඩවලගේ උපන්ගම අලව්ව ගල්ඇන්ද කැබැල්ලවිටයි. මව පියා හැරුණු විට හර්ෂට වැඩිමහල් සහෝදරියක සිටී. ගුරු වෘත්තියේ නියැළි මවගේ සහ පියාගේ මඟපෙන්වීම හා ආශිර්වාදයෙන් අධ්‍යාපනය සඳහා 2015 වර්ෂයේ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වූ හර්ෂ හත ශ්‍රේණියේදී පාසලේ නව නිපැයුම් සංගමයට ඇතුළත්ව විද්‍යාලයේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය විෂය භාර ආචාර්ය එල්. ඒ. එන්. ශානක ලියනආරච්චි මහතා යටතේ නව නිර්මාණ කිරීමට අවශ්‍ය මූලික ගුරුහරුකම් ලබා ගත්තේය. පාසල නිම වී නිවසට ගිය පසු එහිදී ද ඔහුගේ සිත නැවැතුණේ නව නිපැයුම් කෙරෙහිය. ඒ ගැන හර්ෂ කීවේ මෙවැන්නකි.
“ මම නිතරම හිතුවේ අලුත් දෙයක් කරන්න ඕනෑ කියන සිතුවිල්ලෙන්. මගෙ නව නිර්මාණවලට මූලික වුණෙත් එහෙම දේවල්. ගෙදරදි එහෙමත් නැතිනම් මඟ තොටේදී අපි දෛනිකව භාවිතයට ගන්නා දේවල්වලින් වඩා පහසුවෙන් මෙන්ම සුවදායීව කාර්යක්ෂමව ඵලදායීව කරගන්න තමයි මම කරපු බොහෝ නව නිර්මාණවලට මූලික වුණේ. කරාම කෙවෙනියට කලින් මම තවත් නිර්මාණ 14ක් විතර කර තිබෙනවා. ඒවා අතර වැඩිදියුණු කළ විදුලි පේනුව, වැඩි දියුණු කළ ජනෙල් අගුල, වැඩිදියුණු කළ කසළ බඳුන ආදිය විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්. ඒවා බොහොමයක් තරගවලින් ජයග්‍රහණය කර තිබෙනවා. එහෙම ජයග්‍රහණය කළත් නොකළත් මම නිර්මාණය කිරීම අත්හැරියේ නැහැ. එහෙම කරපු තවත් නිර්මාණයක විශිෂ්ට ප්‍රතිඵලයක් තමයි කරාම කෙවෙනිය නිර්මාණය ජාත්‍යන්තරය දක්වා යන්නේ. මට මේ සඳහා මගේ පාසලේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය විෂය භාර ආචාර්ය ශානක ලියනාරච්ච් මහතා, ඉන්දිකා රණසිංහ විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පති ආර්.එම්.කේ. රන්කොත් මහතා, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති ඉංජිනේරු ජයවිලාල් මීගොඩ මහතා සහ මගේ මව පියා සහෝදරියගෙන් මෙයට උදව් උපකාර කළ සෑම සියලු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මගේ නව නිර්මාණවලට මූලික කර ගත්තේ අපි අවට දෛනිකව භාවිතා කරන දේවල් සූක්ෂ්මව හා කාර්යක්ෂම ලෙස ඵලදායීව අපට පහසුවෙන් ඉටු කර ගත හැකි ආදේශක විදිහටයි. අද ලංකාවේ බොහෝ දෙනා නව නිර්මාණ කරනවා. ඒත් ඒවා පටන් ගත් තැනම අවසන් වෙනවා. මටත් එහෙම සමහර නිර්මාණ කිරීමේදී ගැටලු බාධක ඇති වුණා. බැහැයි කියලා හිතුණා. ඒත් මම නතර වුණේ නැහැ. කොහොම හරි ඒ ඉලක්කය ජය ගත්තා. නව නිපැයුම්කරුවෙක් විදිහට මම ලබා ගත් ජයග්‍රහණය ගැන සතුටු වෙනවා වගේම ජාත්‍යන්තරයෙන් ලැබෙන වටිනාකම් හා ඇගැයීම් නව නිපැයුම් හා නිපැයුම්කරුවන් සඳහා ද අප රටේදී ද ලැබිය යුතුයි. එහෙම වුණොත් මීට වඩා අපේ රට වෙනස් වේවි. සංවර්ධිත වේවි. කෙතරම් බාධක තිබුණත් එය කරන්න පුළුවන්. මේ නව නිපැයුම හරහා මගේ පාසලටත් රටටත් ගෞරවයක් අත් කරදීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා.“
