රට බංකොලොත් වුණේ 2015 ජනතාව කරපු අත්වැරැද්ද නිසා – මහින්ද කියයි

රට බංකොලොත් වූවේ, 2015 ජනවාරි මාසයේ ජනතාව සිදු කරගත් අත්වැරැද්ද නිසා යැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සංඛ්‍යා දත්ත මගින් ඒ බව තහවුරු වන බව පවසන හිටපු ජනාධිපතිවරයා, ජනතාව විශ්වාස කළ යුත්තේ, දේශපාලන අරමුණු මත සිට සිදු කරන චෝදනා නොව, එකී සංඛ්‍යා දත්ත යැයි අවධාරණය කරයි.

තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ වසර නමයක කාලය තුළ, මෙරට ආර්ථික වර්ධනය 6% ක අගයක පැවතුණු බව හිටපු ජනාධිපතිවරයා සිහිපත් කරයි.

මෙම කාල පරාසයට යුද්ධය අවසන් කළ වසර කිහිපයද ඇතුළත් ය.

යුද්ධය අවසන් වීමෙන් පසුව එළැඹුණු දෙවන දූර කාලයේ දී ආර්ථික වර්ධන වේගය 6.8% ක් වූ බව හිටපු ජනාධිපතිවරයා සිහිපත් කරයි.

තමන් බලයට පත් වූ 2005 වසර වන විට ඇමරිකානු ඩොලර් 1242 ක් වැනි පහළ අගයක පැවති ඒක පුද්ගල ආදායම, තමන් බලයෙන් නික්ම යන විට, ඇමරිකානු ඩොලර් 3813 දක්වා ඉහළ ගොස් තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එමෙන්ම, තමන් බලයට පත් වූ 2005 වසර වන විට, රටේ සමස්ත ණය අනුපාතය, දළ ජාතික නිෂ්පාදනයෙන් 90%ක් වැනි ඉහළ අගයක පැවති බව පවසන හිටපු ජනාධිපතිවරය, තමන් බලයෙන් නික්ම යන විට එය 69% දක්වා පහතට ගෙන ඒමට සමත් වූ බවද පවසයි.

ඒ අනුව, තමන් 2015 ජනවාරි මාසයේ යහපාලන රජයට භාර දෙන ලද්දේ ඉතාමත්ම ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමන්ගෙන් රට භාරගත් යහපාලන රජය, 2015 වසරේ දී ආර්ථික වර්ධනය 4.2% දක්වා පහත දමා ගත් බව පවසන හිටපු ජනාධිපතිවරයා, එය, යහපාලන රජය පාලනය අත්හරින විට -0.2% දක්වා සෘණ අගයකට පැමිණ තිබුණු බව සිහිපත් කරයි.

යහපාලන රජය ක්‍රියාත්මක වූ කාලය තුළ ආර්ථිකය කඩා වැටීමට අදාල කිසිදු භාහිර තත්ත්වයක් ලෝකය තුළ නොතිබුණු බව හිටපු ජනාධිපතිවරයා පවසයි. එකී කාලය තුළ බංග්ලාදේශය 7% ක ආර්ථික වර්ධන වේගයක්ද, මාලදිවයින 6% ක ආර්ථික වර්ධන වේගයක්ද අත්කරගෙන තිබුණි.

එමෙන්ම, තමන්ගේ පාලන කාලය තුළ ලබාගෙන තිබුණු ස්වෛරී බැදුම්කර මෙන් තුන් ගුණයක ස්වෛරී බැදුම්කර ප්‍රමාණයක් යහපාලනය විසින් ලබාගෙන තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා සිහිපත් කරයි.

ඒ අනුව, 2019 වසරේ දී නැවත තමන් අතට පත් වූවේ පිරිහුණු ආර්ථිකයක් සහිත රටක් බව හිටපු ජනාධිපතිවරයා පවසයි. කෝවිඩ් වසංගතය තත්ත්වය තවත් දරුණු අතට හැර වූ බව අවධාරණය කරන හිටපු ජනාධිපතිවරයා, රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට බලපෑ සැබෑ කරුණු එලෙස විණි යැයි පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *