තුම්මෝදර වග ප්‍රදේශයට පසුගිය ජුනි 2 දින අලුයම් කාලයේ වර්ෂාවත් සමග හදිසියේ ඇති වූ ජල ගැල්මක් හේතුවෙන්, නිවෙසක කොටුවී සිටි යුවළක් ජල රකුසාගෙන් බේරා ගත් එම ප්‍රදේශයේම පදිංචි දිරිය දියණියක් වන පාදුක්ත සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ සිසුවිය ඇගයීමේ උත්සවයක් ඊයේ (11) දින හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (පාසල් පාලන) අජිත් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ක්‍රීඩාගාරයේදී සිදු කෙරුණි.
මෙහිදී විදුහලේ විශ්‍රාමික විදුහල්පති පියසිරි කහවලගේ මහතා විසින් තම විශ්‍රාම වැටුපෙන් කොටසක් මෙම සිසුවියට ප්‍රධානය කිරීම සඳහා විද්‍යාලයට ලබා දෙනු ලැබ ඇති අතර, එම පරිත්‍යාගය හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක අජිත් ප්‍රේමසිරි මහතා සහ විදුහල්පති උදාන ගීගනගේ යන මහත්වරුන් විසින් ලබා දෙන ලදී. ඉන් අනතුරුව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ චමිල සඳරුවන් මහතා පාසල් උපකරණ කට්ටලයක් ද, අයෝම මධුප්‍රසාද් මහතා සහ මහේන්ද්‍ර ගමගේ යන මහත්වරුන් විසින් මූල්‍යමය පරිත්‍යාගයක් ද එම සිසුවියට ලබා දී තිබේ.
ඇය හෝමාගම අධ්‍යාපන කලාපයේ ලියන්වල ආනන්ද සමරකෝන් කනිෂ්ඨ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය (1 – 5 ශ්‍රේණිය) හදාරා අනතුරුව පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ 6 – 8 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබා, කොළඹගෙආර මහා විද්‍යාලයට ඇතුළත්ව එහි 9 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ විභාගය සමත් වනතුරු ඉගෙනුම ලබා ඇත. ඉන් අනතුරුව උසස් පෙළ හැදෑරීම සඳහා ඇය නැවත පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත.
එම අවස්ථාවට හෝමාගම අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (පාසල් පාලන) අජිත් ප්‍රේමසිරි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර වල්පොල, විදුහල්පති උදාන ගීගනගේ යන මහත්වරුන් ද, විදුහලේ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් ද, ආචාර්ය මණ්ඩලය ද, ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෝ ද, චරිත්මා සිසුවියගේ මවුපියන්, සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ