අලි ඇතුන් නම පවසමින් එකිනෙකා අමතන බව අනාවරණය වෙයි

අලින් එකිනෙකා අමතන්නේ අදාළ අලියාට අනන්‍ය වූ නමක් පවසමින් බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

හඬ අනුකරණය කරමින් ඩොල්ෆින් සතුන් සහ ගිරවුන් වැනි පක්ෂීන් තම වර්ගයට ම අයත් අනෙකුත් සතුන් අමතන බව මින් පෙර සොයාගෙන තිබුණත්, මේ අධ්‍යයනයට අනුව අනන්‍ය වූ නමක් පවසමින් ආමන්ත්‍රණය කරන බවට සොයාගෙන ඇති එක ම සත්ත්ව විශේෂය වන්නේ අලින්.

මේ අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් කෘත්‍රිම බුද්ධිය පාදක කරගත් ඇල්ගොරිතමයක් මඟින් කෙන්යාවේ දී පටිගත කරන ලද කුංචනාද ගණනාවක් විශ්ලේෂණයට ලක් කර තිබුණා. මේ ශ්‍රව්‍ය පසුරුවල අන්තර්ගත වුණේ අප්‍රිකානු සැවානා හස්තීන්ගේ කෑගැසීම්.

අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ Michael Pardo සඳහන් කරන පරිදි මෙහි දී ඔවුන්ට පෙනී ගෝස් තිබුණේ ඔවුන් එකිනෙකා අමතන්නේ විශේෂිත වූ හඬ භාවිතයන් මඟින් බවයි. මෙලෙස තවත් අලියෙකු තමා අමතන බව හඳුනා ගන්නා අලියෙක් අනෙකුත් අලින්ගේ හඬ නො සලකා හැර තමා ඇමතූ සගයාට ම ප්‍රතිචාර දක්වන බවත් මෙහි දී පෙනී ගොස් තිබුණා.

මෙහි දී යොදාගැනුණු ශ්‍රව්‍ය පසුරු 1986 සිට 2022 දක්වා කාලයේ දී කෙන්යාවේ Samburu ජාතික වන රක්ෂිතයේ දී සහ Amboseli ජාතික වනෝද්‍යානයේ දී පටිගත කරන ලද ඒවා බව පර්යේෂකයන් සඳහන් කරනවා.

කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයේ සහාය ඇති ව අලි කෑගැසීම් 469ක් හඳුනා ගන්නට ඔවුන් සමත් ව තිබුණා. ඉන් 101 ක් ඇමතීම් වශයෙනුත්, 117ක් ඇමතීම්වලට ලැබෙන ප්‍රතිචාර වශයෙනුත් හඳුනා ගන්නට ඔවුන් සමත් ව තිබුණා.

The Guardian ඇසුරෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *