වර්තමානයේ පවතින තරගකාරී ලෝකය තුළ කරුණාව යනු බොහෝවිට සමාජය තුළ අර්ථය හීන වී ගිය වචනයකි.
එවැනි වටපිටාවක සැබෑ කරුණාව සහ මෛත්‍රීය සතුන් අතරේ පතුරුවන සුන්දර හදවතක් පිළිබඳ මේ කතාව අපට අසන්න ලැබුණේ බණ්ඩාරගම ප්‍රදේශයෙනි.
මේ ලෝකේ ජීවත්වන අප රැකියාවක් කරන්නේ ඉන් ලැබෙන ආදායමෙන් මූලික අවශ්‍යතා සපුරාගැනීමයි.
ඒ අතර ප්‍රධාන වන්නේ කුසගින්න යි.
මනුෂ්‍යයින් වන අප එලෙස රැකියාවක් සිදුකර ලබාගන්නා ආදායමෙන් කුසගින්න නිවා ගැනුන ද , එසේ කිරීමට නොහැකිව මහමඟ දිවි ගෙවනා තිරිසන් සතුන්ට කාගේ සරණක්ද?
එවැනි අහිංසකයින්ට ඇත්තේ මිනිසුන් වන අපගේ සරණම පමණී.
ඒ නිසාම එකී උතුම් පිංකම වෙනුවෙන් තමන්ගේ දෛනික ජීවිතය කැප කරන සුන්දර අත්තම්මා කෙනෙකු පිළිබඳ කතාවක් අපට වාර්තා වූයේ බණ්ඩාරගම ප්‍රදේශයෙනි.
මේ වනවිට සිය දිවි ගමනේ 78 වන විය පසුකරමින් සිටින ඉන්ද්‍රානි පෙරේරා නම් වූ ඇය දෛනිකව බණ්ඩාරගම නගරයේ සිටින සුනඛයින් රැසකගේ කුස පුරවයි.
ඒ තමන්ගේ ගෙවත්තේ තැඹිලි, පොල් සහ කෙසෙල් කැන් විකුණා ලබන ආදායමෙනි.
එමෙන්ම මේ සත්ක්‍රියාව සඳහා ප්‍රදේශයේ දානශිලී මිනිසුන් කිහිපදෙනෙකුගේ සහයත් ඉන්ද්‍රානි මහත්මියට ලැබෙන බව ඇය පැවසුවාය.
සෑම දිනකම ඇයගේ හඬ ඇසෙනා විට බණ්ඩාරගම නගරයේ අහුමුලුවල දවස ගෙවන ටවුන් බොයි, බූලා, රෝසි, රතු වැනි අහිංසකයින් ඇය ළඟට දුවගෙන එන්නේ සිය මව දැකීමෙන් දිව එන දරුවන් මෙනි.
ඉතිං තමන්ගේ නිවසේ සුරතලයට හදනා සුනඛයන් වයස්ගත වූ විට පාරේ දමා යන එසේම සුනඛයෙක් දුටුවිට අතට අසූ වූ දෙයකින් දමා ගසනා සැමට ඉන්ද්‍රානි මහත්මිය කියාගෙන්නේ සැබෑ මනුෂ්‍යත්වයේ පාඩමකි.
ඒ සියලු ජීවින් අතරේ උසස්ම ජීවියා වූ මිනිසා සතුව අහිංසක සතුන් කෙරෙහි පැවතිය යුතු කාරුණික හදවතයි.