වරකාපොළ පොලිස් වසමට අයත් මාහේන ප්‍රදේශයේදී කාලයක පටන් පවත්වාගෙන ගිය ජංගම ඉන්ධන හලක් වටලා ඩීසල් ලීටර් 1235 ක්, පොම්පයක් සවි කරන ලද ඩීසල් ටැංකියක් සහ ලොරි රථයක් සමග සැකකරුවකු (28 දා) කෑගල්ල කොට්ඨාස භාර අපරාධ කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වරකාපොළ පොලිසිය වෙත භාරදී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොල තෝලංගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබිණි.
වරකාපොළ අඹේපුස්ස, මාහේන ප්‍රදේශයේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා සැකකරුට අයත් ඉඩමක නවතා තිබූ කුඩා ලොරි රථයක් පරීක්ෂාවට භාජනය කර ඇති අතර, එම රථයේ පිටුපස තට්ටුව මත තබා තිබූ ඉන්ධන බෙදාහැරීමට පහසු වන ආකාරයට සකසා ගත් මීටරයක්ද සමග පොම්පයක් සවි කරන ලද ඩීසල් ටැංකියක් හා පුරවා තිබූ ඩීසල් ලීටර් 1235 ක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර අද (30 දා) වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසිය විසින් සිදු කරනු ලබයි. කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබිණි.