ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 57 ජන්ම දිනයට උපහාර පිණිස දමිළ ජාතිකයකු තඹුත්තේගම, නල්ලච්චියේ සිට ඊයේ (24) පාපැදියකින් රට වටා සවාරියක් ඇරඹීය.
‘එක රටක් එක ජාතියක්’ තේමාව පෙරදැරි කර ගනිමින් ඇරඹි මේ පාපැදි සංචාරයේ අරමුණ වන්නේ ජනාධිපතිවරයාගේ දූරදර්ශී පාලනය ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත්, මත්ද්‍රව්‍යවලින් තොර සන්සුන් සාමකාමී සමාජයක් ගොඩනැඟීමට හැකි වේවා යන්නත්ය.
පොතුවිල් ප්‍රදේශයේ පදිංචි කලන්දර් සුර්පිකාර් (46) ජාතික බයිසිකල් සංගමයේ සාමාජිකයෙක් සහ ක්‍රීඩා උපදේශකයෙක් වශයෙන් ද කටයුතු කරයි.
ඊයේ (24) උදෑසන නවයට තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය අසලින් ඇරඹි මේ පාපැදි සංචාරයට පණාමුරේ සාන්ත හිමියන් සෙත් පතා අවසර දුනි.
මේ සවාරිය පිළිබඳව පාපැදිකරු වන කලන්දර් සුර්පිකාර් මෙලෙස අදහස් දැක්වීය.
“දින දහයකින් මේ පාපැදි සවාරිය නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමු දින තඹුත්තේගමින් ආරම්භ කර අනුරාධපුරය හරහා මන්නාරමින් නිමා වුණා. පසු දින සිට වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, ආරගම්බේ, වැල්ලවාය, කතරගම හරහා අම්බලන්ගොඩ, මාතර, කළුතර, කොළඹ ජනාධිපති මන්දිරය අසලින් ගමනාන්තය සනිටුහන් කිරීමට අපේක්ෂා කරනවා.
මේ පාපැදි ධාවනය නිමාවන්නේ දෙසැම්බර් මස 03 වැනිදා. යතුරුපැදියකින් රට වටා ගොස් ජනාධිපති මැඳුර ආසන්නයෙන් දින දහයක් නිමා වන විට කිලෝ මීටර් 970කට ආසන්න දුර ප්‍රමාණයක් ගමන් කරන තිබෙනවා. මේ පාපැදි සවාරියේ අරමුණ වන්නේ ජනාධිපතිවරයාගේ ජන්ම දිනයට සුබ පැතීම සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි.”