වසර 10 කට පසුව බෝංචි කිලෝවත් රුපියල් 40 දක්වා වේගයෙන් පහළට

වසර දහයකට පමණ පසුව බෝංචි කිලෝවක තොග මිල අද (04 වැනිදා) දින වනවිට රුපියල් 40ත් 50ත් අතර පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීමත් නිසා එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම එළවළු මිල පහත වැටීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත් අද (04 වැනිදා) දින දහවල් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ලැබුණු බව වෙළෙඳ සංගමයේ සභාපති සී.එස්. සිරිවර්ධන පැවසීය.

බණ්ඩක්කා, වැටකොලු, කැකිරි, පිපිඤ්ඤා, වම්බටු කිලෝවක තොග මිල රුපියල් 15ත් 40ත් අතර මිලකට අලෙවි වී තිබුණි. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04 වැනිදා) එළවළු රැගෙන ආ ගොවීන් සඳහන් කළේ තමන්ට ප්‍රවාහන ගාස්තුව හෝ සොයා ගැනීමට නොහැකි වූ බවය. අමු මිරිස්, නෝකෝල්, තක්කාලි, බණ්ඩක්කා, මෑකරල්, වම්බටු අලෙවි නොවීම නිසා ගොවීන් අසීරුතාවට පත්ව ඇති බවත්, ඇතැම් ගොවීන් සඳහන් කළේ කීයකට හෝ මිලකට මෙම එළවළු තොග ලබාදී තමන්ට නිවෙස්වලට යෑමට සිදු වූ බවය.

දඹුල්ල සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් 14 වැනි පිටුවේ පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *