වසර 38කට පසු ජංගම ගිණුමේ අතිරික්තයක් – රාජ්‍ය ආදයම වේගයෙන් ඉහළට

ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අර්බුදයකින් පසු ස්ථායීකරණ මාවතට පිවිසෙමින්, වසර 38කට පසුව ප්‍රථම වතාවට රජයේ අයවැයෙහි ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට සමත්ව ඇති බව නවතම ආර්ථික දත්ත විශ්ලේෂණ මගින් අනාවරණය වේ. මෙය 1987 වසරෙන් පසු මෙරට රාජ්‍ය මූල්‍ය ඉතිහාසයේ සනිටුහන් වූ සුවිශේෂී ජයග්‍රහණයකි.

ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ යටතේ රජයේ ප්‍රධාන ඉලක්කයක් වූයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 15.3% දක්වා වැඩිකර ගැනීමයි. 2025 වසරේ නිල දත්ත ඉදිරි සති කිහිපය තුළ නිකුත් වීමට නියමිත අතර, ඇස්තමේන්තුගත දත්ත අනුව රජයේ බදු ආදායම දැනටමත් එම 15.3% සීමාව පසුකර ඇත. බදු නොවන ආදායම් ද සමඟ සමස්ත රාජ්‍ය ආදායම GDP අනුපාතයක් ලෙස 16.8% වැනි ඉහළ මට්ටමකට පැමිණ තිබීම විශේෂත්වයකි

පසුගිය වසරේ රජයේ වියදම් කළමනාකරණය පිළිබඳව ද සුබවාදී තත්ත්වයක් දක්නට ලැබේ:

  • වර්තන වියදම් (පොලී රහිත): GDP යෙන් 8.4% කි.
  • පොලී වියදම්: GDP යෙන් 7.6% කි.
  • මුළු වර්තන වියදම: GDP යෙන් 16.0% කි.

රජයේ සමස්ත වර්තන වියදම (පරිභෝජන වියදම්), රජයේ ආදායමට වඩා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් GDP යෙන් 0.8% ක ජංගම ගිණුම් අතිරික්තයක් නිර්මාණය වී ඇත. මෙයින් අදහස් වන්නේ රජයේ එදිනෙදා පරිභෝජන කටයුතු සඳහා ණය ගැනීමට අවශ්‍ය නොවන මට්ටමට රටේ ආදායම ශක්තිමත් වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *