වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීම් සිදු කළ බවට චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 09 දෙනෙකුට අදාළ නඩුව අද (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් සම්සුදීන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා සහ පොලිසිය අතර ඇති වූ සෘජු මත ගැටුමක් හේතුවෙන් නඩුවේ ඉදිරි කටයුතු පිළිබඳ දැඩි අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විය.
නීතිපතිවරයාගේ තීරණය
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, අභියාචනා අධිකරණයේ පවතින රිට් පෙත්සමකට අදාළව ඇති කරගත් එකඟතාවක් මත, සැකකරුවන්ට එරෙහිව ඇති වෙරළ සංරක්ෂණ පනත යටතේ වන පළමු චෝදනාව ඉවත් කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
මෙම චෝදනාව ඉවත් කරගතහොත්, මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන්ට ඇප ලබාදීම පිළිබඳ සලකා බැලීමට නීතිමය ඉඩකඩක් පවතින බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පොලිසියේ දැඩි විරෝධය
කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ මෙම තීරණයට ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් කණ්ඩායම දැඩි විරෝධය පළ කළහ. නඩුව පවරා ඇත්තේ පොලිසිය බැවින්, චෝදනා ඉවත් කර ගැනීමට තමන් එකඟ නොවන බව ඔවුහු අවධාරණය කළහ.
මේ සමඟ රජයේ නීතිඥවරයා සහ පොලිසිය අතර අධිකරණය තුළ සෘජු මත ගැටුමක් ඇති විය. දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පහත කරුණු අවධාරණය කළේය:
- නීතිපතිවරයාට නඩුවක් තමන් යටතට ගැනීමේ බලය තිබුණද, පොලිසියේ වාර්තාවක්ද මේ සඳහා අවශ්‍ය වේ.
- චෝදනාව ඉවත් කර ගැනීම හෝ සැකකරුවන් වරද පිළිගැනීම හැර වෙනත් පදනමක් මත ඇප ලබාදිය නොහැක.
අධිකරණ භූමියේ දැඩි ආරක්ෂාවක්
අද දින නඩුව විභාග වන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටි අතර, පවතින සංවේදී තත්ත්වය සලකා පොලිස් නිලධාරීන් 100 කට අධික පිරිසක් යොදවා විශේෂ ආරක්ෂක රැකවල් යොදවා තිබිණි.
පොලිසිය සහ රජයේ නීතිඥවරයා අතර පවතින මෙම පරස්පරතාවය විසඳා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා නඩුව තාවකාලිකව කල් තැබූ අතර, පොලිසියේ අවසන් ලිඛිත වාර්තාව සලකා බැලීම සඳහා නඩුව අද පස්වරු 2:30 ට නැවත කැඳවීමට නියෝග කළේය.
මූලාශ්‍රය – නිව්ස් 19