මෙරට අවු 13-15 අතර පාසල් සිසුන් දුම්පානයට ඇබ්බැහි වෙයි

අවුරුදු 13ත් 15ත් අතර වයස් කාණ්ඩයේ පාසල් දරුවන් දුම්පානය සඳහා ඇබැබ්හි වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවැසීය .

හෙටට (31) යෙදෙන ලෝක දුම්කොළ විරෝධී දිනය ට සමගාමීව ඊයේ (29 වැනිදා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය .

විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ නව යොවුන් වියේ පිරිස් අතර දුම්පානය වැඩි වී ඇතිබවට සිදුකළ සමීක්ෂණයකදී තහවුරු වී ඇති බවය.

විශේෂයෙන් පාසල්වල 9 ,10 ,11 යන ශ්‍රේණිවල සිසුන් සියයට 5.7 % එක් වරක් හෝ දුම්පානය සිදුකර ඇති බවට මෙම සමීක්ෂණයේදී තොරතුරු වාර්තා වී ඇත.

එසේම එම සිසුන්ගෙන් 3.7 % ක් දුම්පානය සඳහා ඇබ්බැහි වී ඇති බවද තහවුරු වී තිබේ .මෙම ළමුන් දුම්පානය සඳහා වැඩි වශයෙන් ඇබ්බැහිවී ඇත්තේ විද්‍යුත් දුම්වැටි භාවිත කිරීමෙන් පසු බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

එම විද්‍යුත් දුම්වැටිවල විවිධ රසායන ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය .

ඉතා වේගයෙන් විද්‍යුත් දුම්වැටි සඳහා ඇබ්බැහිවන මෙම පිරිස පසුව දුම්වැටි සඳහා ඇබ්බැහි වන බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පැවැසීය .

මේ පිළිබඳ දෙමව්පියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දරුවන් දුම්පානයට ඇබ්බැහිවිමෙන් ශ්වසන රෝග සහ පිළිකා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරදයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *