පරිගණකයට ඇබ්බැහි වී උසස් පෙළ සිසුවා දිවි නසා ගනියි

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලු ලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පතරොම් තුවක්කුවකින් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි  දහඅට හැවිරිදි සිසුවෙකි .මොහුගේ මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පුද්ගලික අංශයේ සේවය කරයි.

එකම සොහොයුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන වෛද්‍යවරියකි.මෙම සිසුවා සිය කාමරයේ පුටුවක සිටිමින් මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතළ හානි සිදුව තිබූ බව පොලීසිය පවසයි.පියා සතු මෙම තුවක්කුව සඟවා තිබියදී එය සොයා ගෙන මෙම වෙඩි තබා ගැනීම සිදුකර ගෙන තිබේ .

මව හා පියා සේවා සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොයුරා සමග මොහු නිවසේ සිට ඇත.සොහොයුරාද සේවය සඳහා යාමට සුදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට මෙම සිද්ධිය දැක ඒ පිළිබඳව  පොලීසියට  දන්වා ඇත. වැඩිමල් සොහොයුරා පවසන්නේ සොයුරා තනිවම කාමරයට වී පාඩම් වැඩ කරන බවයි. ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් මෙම සිසුවා ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථයක් සහිතව අපොස සා පෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙසේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ගොස් තිබේ.

නියමිත කාලයට  වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසේ. මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර ඇත. වෙඩි තබා ගැනීමට පෙර මෙම සිසුවා තියුණු පිහියකින් වම් අතේ ස්ථාන තුනක් කපාගෙන තුවාල සිදුකරගෙන තිබූ බවද පරීක්ෂණවලින් අනාවරණය විය .පොලීසිය සැක කරන්නේ මෙම සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවය. එසේම විභාගය පිළිබඳව සිතා සිටි ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද ප්‍රකාශ විය.

ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිව තිබුණි.ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක, සහකාර පොලිස් අධිකාරී එච්.චම් හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත අත්ගලා වැඩ බලන ස්ථානාධිපති  වෙළගෙදර  ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

image 7cf00fbc03 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *