රියැදුරු බලපත්‍ර ලබාදීම අතරමැදි ආයතනවලින් තොරව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් පමණක් සිදුකරන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවැසීය. ප්‍රමාද වූ සියලු රියැදුරු බලපත්‍ර පෙබරවාරි 28 වනවිට ලබාදී අවසන් කරන බව ද ඒ මහතා කීය.
මීට පෙර පෞද්ගලික ආයතනයක් මගින් රියැදුරු බලපත්‍ර ගෙන්වා මෝටර් රථ දෙපාර්තමේන්තුවට ලබාදී රියැදුරු බලපත්‍ර ලබාදීම සිදුකරනු ලැබුවත් දැන් රියැදුරු බලපත්‍ර ලබාදීමේදී ලබාගන්නා මුදල රජයට පමණක් හිමි වන බව ද ඒ මහතා කීය.
මේ වනවිට රියැදුරු බලපත්‍ර ලක්‍ෂ 08 ක් ගෙන්වා තිබෙන බවත් මෙතෙක් ලබාදීමට නොහැකිව ගොඩගැසී තිබූ ලක්‍ෂ හතරහමාරක ප්‍රමාණයෙන් සියයට පනහක් පමණ මුද්‍රණය කර අවසන් බවත් ඉතිරි ඒවා පෙබරවාරි 28 පමණ වනවිට මුද්‍රණය කර අවසන් කරන බවත් ඒ මහතා කීය.
එක්දින සේවාව යටතේ රියැදුරු බලපත්‍ර ඉල්ලන ප්‍රමාණය ලබාදීමටත් සාමාන්‍ය සේවාව යටතේ රියැදුරු බලපත්‍රයක් ඇණවුම් කර මාසයක් තුළ එය තැපැල් මගින් අයැදුම්කරුට ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා කීය.
මේ වනවිට අනුරාධපුරය, හම්බන්තොට සහ වේරහැර කාර්යාල මගින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර ලබාදෙන බවත් මේ වර්ෂය තුළ තවත් දිස්ත්‍රික්ක කිහිපයක එවැනි කාර්යාල විවෘත කර රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර ලබාදීමට සැලසුම් කරන බවත් ඒ මහතා කීය.