බරපතල නායයෑම් සිදුවුණ ප්‍රදේශ සියල්ල අස්ථාවර තත්වයකට පත් වෙයි

බරපතළ නාය යෑමට ලක් වූ ප්‍රදේශ අවට බෑවුම් සියල්ල අස්ථාවර තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉන්ජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසීය.

ඇති වූ  ආපදා තත්ත්වයත් සමග නාය යෑමට ලක් වූ  ස්ථානවල බෑවුම් ප්‍රදේශවල නාය යෑමේ පෙර සලකුණු වශයෙන් පැල්මකට, ඉරිතැළීමකට, ලක්ව ඇති බව ත් මෙම ප්‍රදේශවල සිදුවන හානිය අවම කිරීමට ඉන්ජිනේරු ක්‍රම භාවිත කිරීමේ හැකියාව ඇද්දැයි සොයා බලන බව ත් ඔහු සඳහන් කළේ ය.

මේ සඳහා දේශීය විශේෂඥයන්ට අමතරව විදේශ රටවල් කීපයක භූ ඉන්ජිනේරු විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද මේ වනවිට කටයුතු කර ඇතැයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

දැනටමත් විදේශ විශේෂඥ කණ්ඩායම් ඊට කැමැත්ත පළ කර ඇතැයි ද ඔහු කීය. 

මෙලෙස ඉරිතැළීමට ලක් වූ ප්‍රදේශවල නිවැරදි අධ්‍යයනයක් කිරීමට දේශීය භූ විද්‍යාඥයන්ගෙන් සහ ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් 60ක් පමණ යොදවා සිටින බව ත් ඒ සඳහා පේරාදෙණිය, මොරටුව ආදී විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් සමග භූ විද්‍යා හා පතල් කාර්යාංශය හා ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්ව සිටින බව ත් ඔහු සඳහන් කළේය.

මෙම කණ්ඩායම්වල නිරීක්ෂණයට බඳුන් වී ඇති නාය යෑමට ලක්වූ ස්ථාන අවට ඉතිරි බෑවුම් කොටස් මෙම නාය යෑමෙන් පසු   පැල්මවල් ඇති වී තිබෙන බවට නිරීක්ෂණය වී තිබේ.

පසුගිය දා පැවති අධික වර්ෂාපතනය හේතුවෙන්  මීටර් 10ට වැඩි පළලින් යුත් බරතළ ප්‍රමාණයේ නාය යෑම් 1241ක් වාර්තා වූ බව අධ්‍යක්‍ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන පැවසීය.

පළල මීටර් 10ට වැඩි නාය යෑම් චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කෙරෙන නමුත් ඊට අඩු නාය යෑම් ඉන් පෙන්නුම් නොකෙරෙන බැවින් මෙම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව හෙතෙම සඳහන් කළේ ය.

මෙම බරපතළ ගණයේ නාය යෑම් මහනුවර, බදුල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් හා සබරගමුව පළාතෙන් වාර්තා වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 744ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 321ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 99ක්, සබරගමුව පළාතෙන් 86ක් ආදී  වශයෙන් නායා යෑම් සිදු වී  ඇත.

මෙයට පෙර වාර්තා වූයේ, 30ක් 40ක් තරම් අඩු ප්‍රමාණයක් වුවත් මෙවර දහසකට වැඩි නාය යෑම් ප්‍රමාණයක් වාර්තා වීමෙන් ලැබුණු වර්ෂාපතනයේ තීව්‍ර බව පෙන්නුම් කෙරෙන බව ද පැවසීය.

මිලිමීටර් 150ට වැඩි වර්ෂාපතනයක් ලැබීමෙන් ඒ කඳු බෑවුම් අස්ථාවර විය හැකි බව ත් මිලිමීටර් 300ට වඩා වැඩි වැසි ලැබීම  මෙතරම් විශාල නාය යෑම් ප්‍රමාණයක් ඇති වීමට හේතු වී ඇති බව ත් ඔහු කීය.

මෙරට තෙත් කලාපයේ  වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000ක් වන නමුත් දින  තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ඒ ප්‍රදේශයට මිලිමීටර් 1000ක වර්ෂාපතනයක් ලැබී ඇතැයිද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *