සියළුම වාහනවල ඉෂ්ට රූප,සැරසිලි,අනාරක්ෂිත ඉදිකිරීම් ජූලි 01වනදා සිට තහනම් කරයි


පවතින තත්ත්වය යටතේ කුමන බාධා පැමිණියත් රථවාහන තුළ ඇති සැරසිලි, අනාරක්ෂිත ඉදිකිරීම් සහ ඉෂ්ට රූප ආදිය ජුලි පළමු වැනිදා සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවැසීය.

 මෙරට වන මාර්ග අනතුරුවලින් දිනකට පුද්ගලයන් 7 දෙනකු හෝ 8 දෙනකු මියයන බවත් ගෙවුණු දස වසරක කාලයේදී පමණක් පුද්ගලයන් තිස් දහසක් රිය අනතුරුවලින් මියගොස් ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.

එසේම අනතුරුවලින් බරපතළ තුවාලවීම්වලට ලක්වන පුද්ගලයන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවද කියා සිටියි.

වසරකට රිය අනතුරුවලින් 800ක් පමණ මියයනවා. 125ක් පමණ බරපතළ තුවාල ලබන බවත් 20-25ක් පමණ පිරිසක් අසාධ්‍ය තත්ත්වයට ලක්වන බවත් පොලිසිය කියා සිටියි.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ පැවැසුවේ, හදිසි ප්‍රතිකාර ඇඳවල් 42ක් කොළඹ ජාතික රෝහලේ ඇති බවත්, ඉන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් හදිසි අනතුරුවලින් තුවාල ලැබූ පිරිස්වලින් පිරී ඇති බවත් ය. ඒ සඳහා දෛනිකව විශාල වියදමක් දැරීමට සිදුවන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2025 මැයි 30 වැනිදා වන විට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 8,542,000 කි. ඉන් ලක්ෂ 49ක්ම යතුරු පැදි වේ. 11,85,000ක් ත්‍රිරෝද රථ වේ.

මේ ඇතුළු ලක්ෂ 60කට අධික වාහන සංඛ්‍යාවක් එදිනෙදා ධාවන කටයුතු සඳහා මාර්ගවලට පැමිණෙන බවද ප්‍රධාන මාර්ග 5කින් කොළඹ නගරයට පමණක් දිනකට ඇතුළු වන රථවාහන සංඛ්‍යාව ලක්ෂ 5කට අධික බවද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස වාහන විශාල සංඛ්‍යාවක් ධාවනයට එක්වෙද්දී සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාවද විශාලය.

පොලිස් වාර්තා අනුව 2022 වසරේදී සිදුවූ මාර්ග අනතුරු 2,420 කින් 2,540 දෙනකු මියගොස් තිබෙන අතර 2023 වසරේත් මාර්ග අනතුරු 2,231 කින් 2,341දෙනෙක් මියගොස් ඇත. 2024 වසරේදී අනතුරු 2401කින් 2,521 දෙනකු මියගොස් ඇත.

මේ වසරේ ජනවාරි 1 සිට ජුනි 15 වැනිදා දක්වා කාලසීමාවේදී පමණක් මාර්ග අනතුරු 1,133 ක් සිදුවී ඉන් 1,199දෙනකු මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *