ගංවතුර ආධාර ජනාධිපතිවරණ ප්‍රචාරණයට යොදවලා,අනුර යාපාගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවාසීන්ට සහනාධාර දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදුන් රුපියල් ලක්‍ෂ 61කට අධික මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය අනුර යාපා ප්‍රියදර්ශන මහතා ඇතුළු විත්තිකරුවන්ට ඊයේ (27දා) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේදී චෝදනා කියවා දුන්හ.

අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය කියවා දුන් එකී චෝදනාවලට විත්තිකරුවෝ හත්දෙනාම වෙන් වෙන්ව නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළහ. එබැවින් ඔවුනට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ආරම්භ කෙරිණි. පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරු ලෙස නම්කොට තිබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජයන්ත රංජිත් වික්‍රමසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ ප්‍රථමයෙන් සාක්‍ෂි ලබාදුන්නේය.

2014.12.26 වැනිදා හා 2015.01.08 දින කාලය අතරතුරදී එකී වරද සිදුකිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය මගින් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබිණි.

අනුර යාපා ප්‍රියදර්ශන, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ධම්මිකා ශිරානි සුමනරත්න, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස්. අමරසේකර, කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත ද සිල්වා, ගණකාධිකාරි සරත් පෙරේරා, චමින්ද සමරකෝන් හා හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කළ අනුර සෙනවිරත්න යන විත්තිකරුවෝ හත්දෙනාම ඊයේ (27දා) මහාධිකරණය හමුවේ පෙනි සිටියහ.

නීතිඥ අරින් ද සිල්වා, පසිඳු තිලකරත්න, සුනිල් මතුගම, රාජිත අබේගුණවර්ධන, රවි මතුගම යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු හා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය වෙනුවෙන් පෙනි සිටයහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *