පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයත්, දේශපාලන අස්ථාවරභාවයත් හේතුවෙන් ඉදිකිරීම් නවතා දමා තිබූ අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග නැවත ආරම්භ කෙරිණ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත කඩිනම් ව්‍යාපෘතියක් ලෙස නිම කිරීමට අවශ්‍ය මූල්‍ය, අමුද්‍රව්‍ය හා තාක්‍ෂණික පහසුතම් ලබාදී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සමස්ත පද්ධතියේ ම ඉදිකිරීම් ආරම්භ කෙරිණ.
රජයේ උපායමාර්ගික නගර සංවර්ධන සැලැස්ම ප්‍රකාරව, අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ තවත් තිරසර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ.
ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 2,144 කි. මූල්‍ය පහසුකම් සැපයීම සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිත ආයතනය (AFD) හා ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබයි.
2022.02.04. වන දින ආරම්භ කරන ලද මෙම ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම්, එවකට පැවති රජයේ දුර්වල පාලනය හා මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇතිවූ මූල්‍ය අර්බුධය හා ආර්ථික විනාශය හේතුකොටගෙන සම්පූර්ණයෙන්ම නතර කෙරිණ. නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වසර දෙකක පමණ කාලයක් නවතා දමා තිබූ මෙම ව්‍යෘපෘතිය මුල් සැලසුමට ඇතුලත් නොවූ පහසුකම් රැසක් ද ඇතුලත් කරමින්, නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් ලෙස නැවත ආරම්ණ කෙරිණ.
ඒ අනුව දුම්රිය – බස් රථ සේවා ඒකාබද්ධ කරමින් කාර්යක්‍ෂම විධිමත් ප්‍රවාහන සේවාවක් මෙන් ම මගී ජනතාවට අවශ්‍ය පහසුකම්, ලබාදීමට මෙම මධ්‍යස්ථානය තුළින් අවස්ථාව සැලසේ. අනුරාධපුර දුම්රිය ස්ථානයත්, මධ්‍යම බස් නැවතුම් පොළත් සම්බන්ධ කරමින් ඉදිවන මෙහි සාමාන්‍ය මගී ජනතාවට මෙන් ම දෙස් විදෙස් සංචාරකයින්ට ද සේවා සහ පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතී. විදුලි පඩිපෙළ සහිත දෙමහල් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංකීර්ණයේ බැංකු, තැපැල්, ආපනශාලා පහසුකම් මෙන්ම මගීන්ට, සංචාරකයින්ට, වන්දනාකරුවන්ට නැවතීමේ පහසුකම්, මෝටර් රථ, ත්‍රිරෝද රථ, යතුරු පැදි, පාපැදි පහසුකම් ලබාගැනීම සහ එම වාහන ආරක්‍ෂිතව නවතා තැබීමේ අංගනයක් ඇතුලු අංග රැසකින් සමන්විත වේ. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ධාරිතාව වැඩිකර ආකර්ශණීය ලෙස සංවර්ධනය කර, සංචාරකයින්ට සහ වන්දනාකරුවන්ට සහන මිලට නවාතැන් පහසුකම් ලබාදීමට ද සැළසුම් කර ඇත.
ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය මේවනවිට සපුරා ඇති අතර, භූ දර්ශන කාර්යයන් සිදු කිරීමට පවතී. ඒ අනුව එළැඹෙන 2026 වසරේ මාර්තු මාසය අවසන් වනවිට සමස්ත ව්‍යාපෘතියේ ම වැඩ කටයුතු අවසන් කර පොදු ජනතාවගේ පරිහරණය සඳහා ලබාදීම අරමුණු කර ගනිමින් ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන ඇත.