වසර හතරකට පෙරදී තම සැමියා, දියණියන් දෙදෙනා තනිකර යෑමත් සමඟ පොළොන්නරුව අරලගංවිල පොළේ වෙළෙඳුන්ට තේ ලබා දී ගන්නා ආදායමෙන් දියණියන් දෙදෙනා පාසල් යවා, ජීවිතය ගැට ගසා ගන්නා මවක් පිළිබඳ පොළොන්නරුව අරලගංවිල හංසයාපාලම,තරුණ ගම්මානයෙන් අසන්නට ලැබෙයි.
අවුරුදු 12ක් වයසැති අමීෂා නිසලන්දී සහ අවුරුදු 10ක් වයසැති සනුදි රදිල්ෂා සමඟ කුඩා පැල්පතක දියණියන් දෙදෙනා සමඟ විවිධ දුක් කම්කටොළු හා අසීරුතා මැද එසේ ජීවත් වන්නේ එම්.සමුද්‍රිකා මධුෂානි පෙරේරා නම් දෙදරු මවයි.

අමීෂා නිසලන්දී කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරමින්.
කුඩා පැල්පතක විදුලියත් නැතිව ජීවත්වන මේ දියණියන් දෙදෙනා වන අලි තර්ජන මැද රාත්‍රී කාලයේ පාඩම් වැඩ කරන්නේ කුප්පිලාම්පු එළියෙනි.
සැමියා දියණියන් දෙදෙනා මෙන්ම තමා ද තනිකර වෙනත් විවාහයක් කරගෙන ඇති බවත්,ඒ හේතුවෙන් දරුවන් දෙදෙනා පාසල් යැවීමට සහ ජීවත් කරවීමට තමා අරලගංවිල පොළේ සෙනසුරාදා දිනයන්හි පමණක් වෙළෙඳුන්ට තේ විකුණා ගන්නා ආදායමෙන් දියණියන් දෙදෙනා ජීවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නා බව සමුද්‍රිකා මහත්මිය සඳහන් කළාය.
කුඹුරු ඉඩම් සහ වෙනත් කිසිම ආදායම් මාර්ගයක් නැතිව ජීවත්වෙන සමුද්‍රිකා මධුශානි මහත්මියට අස්වැසුමෙන් ලැබෙන රුපියල් 15,000ක මුදල ද ලැබෙන අතර එය මහත් අස්වැසිල්ලක් වන බවත්, මාසයකට ජීවත්වීමට එම මුදල ප්‍රමාණවත් නැති බවද ඇය සඳහන් කළාය.
නිවසට විදුලිය නැති නිසා මාසයකට භූමිතෙල් ගැනීමට රුපියල් පන්දාහක පමණ මුදලක් වැය වන බවත්,වැසිකිළි පහසුකම් ද නැති බවත් ඇය හැඬු කඳුළින් පැවසුවාය.
වැඩිමහල් දියණිය ලිලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන අතර අනෙක් දියණිය හතර වසරේ ඉගෙනුම ලබයි.
2013 වාර විභාගයේදී ළමයින් 28ක් සිටින පන්තියේ තුන්වෙනියා බවට පත් වූ වැඩිමල් දියණියට රාත්‍රී කාලයේදී පාඩම් කරන්නේ අනාරක්ෂිත කුප්පිලාම්පු එළියෙනි.දියණියන් දෙදෙනාගේ ආරක්ෂාවට එක් කාමරයක් හෝ ඉදිකර දෙන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් සමුද්‍රිකා මධුෂානි මහත්මිය හැඬූ කඳුළින් ඉල්ලා සිටියාය.
වන අලි තර්ජන මැද දුෂ්කර ප්‍රදේශයක කටු මැටි පැළක කිසිම හව්හරණක් නැතිව ජීවත්වන සමුද්‍රිකා මහත්මිය හැඬු කඳුළින් මෙලෙස කීවාය.
මගේ මහත්තයා බීලා රණ්ඩු කරන නිසා අපට ඒ කරදර උහුලා ගන්න බැරි වුණා. ඊට පස්සේ මීට අවුරුදු හතරකට පෙරදී මහත්තයා මගේ දුවලා දෙන්නා දාලා ගිහින් වෙනත් විවාහයක් කරගෙන ඉන්නවා.වැසි දිනවල මේ ගේ මඩ වගුරක්. රස්නේ දවස්වල මේ ගෙදර ඉන්න බෑ.ටකරං නිසා දාඩිය දානවා. අපට විදුලිය නෑ.දරුවන් පාඩම් කරන්නේ කුප්පි ලාම්පුවෙන්.වතුර ගන්නේ වතුර වළකින්. අස්වැසුමෙන් දෙන මුදලින් තමයි යාන්තම් ජීවත් වෙන්නේ.දරුවන්ට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්.ඒත් දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් න්න මට වත්කමක් නැහැ.මම සෙනසුරදා අරලගංවිල පොළේ තේ හදලා දීලා එක්කෙනකුගෙන් රුපියල් හතළිහක් ගන්නවා. දවසකට තේ විස්සක් හදලා දීලා රුපියල් 800ක් විතර හොයා ගන්නවා.මට මේ දරුවන් ජීවත් කරන්න වෙන ආදායමක් නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් මේ දරුවන්ගේ ආරක්ෂාවට එක් කාමරයක් හෝ හදලා දෙන්න.ඒක බුදුබව අත්වෙන පින්කමක්.දෑසේ කඳුළු පිසලමින් දුක්බර කතාව ඇය හමාර කළාය.
ලංකා බැංකුව අරලගංවිල ශාඛාවේ එම්.එස්.එම්.පෙරේරා ඇගේ නමින් ඇති ගිණුම් අංක-81288959, මුදල්මය ආධාර බැරකළ හැකිය. වැඩි විස්තර දුරකථන අංක 0788519205 ලබා ගත හැකිය.