අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් ඉදිකිරීමට නව රජයේ අවධානය යොමුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රේමතිලක මහතා පැවසුවේ මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා ද, දෙවන අදියර ලෙස රත්නපුර සිට කහවත්ත දක්වා ද, තුන්වන අදියර ලෙස ඇඹිලිපිටිය, සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වා ද ඉදිකිරීමට යෝජිත බවයි.
මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස ගැනෙන අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වාම මේ වන විටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර තිබෙනවා.
එමෙන්ම දුම්රිය ස්ථාන ද බොහොමයක්ම හඳුනාගෙන ඇති අතර මෙයට සමගාමීව කොළඹ සිට අවිස්සාවේල් දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හෝමාගම දක්වා කොටස ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට ද නියමිතයි.
එමෙන්ම මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර අවසන් කළ පසු දෙවන අදියර ලෙස රත්නපුර – කහවත්ත දක්වා දිවෙන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අතර තුන්වන අදියර වන කහවත්ත සිට හම්බන්තොට වරාය දක්වා දිවෙන කොටස අලුතින්ම යෝජිත දුම්රිය මාර්ගයක් වනවා.