නාරාහේන්පිට උද්‍යාන පාරේ ප්‍රංශ පාසල ඇතුළු නිවෙස් බිඳ දේපොළ සොරා ගැනීමක් සම්බන්ධයෙන් අයගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තිදෙනකු පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.
නාරාහේන්පිට පොලීසිය කළ විමර්ශනයකට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම නිලධාරියා නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ද අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කලකට පෙර කටයුතු කර ඇති බවත් කුරුදුවත්ත පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කර ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මොහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙක් බවද අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. ඔහු සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාද මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකාර පොලිස් නිලධාරියා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් යොදවා සොරකම්වල නිරතව සිටින බව බුද්ධි අංශ විසින් කලක සිට බලධාරීන්ට වාර්තා කර තිබී ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.
නාරාහේන්පිට උද්‍යාන පාරේ ප්‍රංශ පාසල බිඳ රුපියල් ලක්ෂ 12කට අධික වටිනා ලැප්ටොප් පරිගණක ඇතුළු දේපොළ සොරකම් කිරීමක් සහ නිෙවසක් බිඳ රුපියල් ලක්ෂ එකහාමාරක් පමණ වටිනා දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා කොටුවූ බව පොලීසිය සඳහන් කරයි.
මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු රාජකාරියේ නිරතව සිටියදී අයගමදී බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. නාරාහේන්පිට නිෙවසක් බිඳ සොරාගත් සියලු දේපොළ ද ප්‍රංශ පාසලින් සොරාගත් භාණ්ඩ අතරින් එක් ලැප්ටොප් යන්ත්‍රයක්ද, වේරගොඩැල්ල, සේද මාවතේ පිහිටි නිෙවසකින් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
මෙම නිලධාරියා නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී නොදන්වා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් සේවය අත්හැර යාමේ නියෝග පවා කලකට පෙර නිකුත් කර තිබී ඇත. පසුව ඔහු නැවත අභියාචනයක් මඟින් පොලිස් සේවයට එක්ව අයගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිට ඇත. නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී දැන හඳුනාගෙන සිටි මත්කුඩුලෝලීන් දෙදෙනෙක් සමඟ මෙම සොරකම් සිදුකර ඇත්තේ අයගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී බව අනාවරණය වී තිබේ. මෙම නිලධාරියා වයස අවුරුදු 31ක් වන අයෙකි.