සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ග්රන්ථ කර්තෘවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අද (අප්‍රේල් 25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.
කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළ බවට අදාළ ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පැවසීය.
උපුල් ශාන්ත සන්නස්ගල, අදාළ ව්‍යාපාරිකයාගෙන් මීට වසර දෙකකට පමණ පෙර චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා බව පවසමින් නැවත දෙන පොරොන්දුව පිට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන තිබුණු බවට ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කර තිබේ.
නැවත ලබා දෙන බව පැවසුව ද, වසර දෙකක කාලයක් ගත වී ඇතත් ඔහු එම මුදල තමාට ලබා නොදී මග හරින බව ව්‍යාපාරිකයා චෝදනා කරයි.
කෙසේ වෙතත්, උපුල් ශාන්ත සන්නස්ගල පොලිසියට පවසා තිබුණේ, අදාළ මුදල පරිත්‍යාගයක් ලෙස තමාට ලැබුණු බව ය.
මේ සම්බන්ධයෙන් පසුගිය දා උපුල් ශාන්ත සන්නස්ගල පොලිසියට කැඳවූ අවස්ථාවේ එම මුදල සති දෙකක් තුළ ගෙවීමට පියවර ගන්නා බවට වූ පොරොන්දුව පිට පොලිසිය ඔහු මුදා හැර තිබිණි.
කෙසේ වෙතත්, උපුල් ශාන්ත සන්නස්ගල එම මුදල ආපසු ලබා නොදී මග හරිමින් සිටින බවට ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.
Source – BBC Sinhala