බස් රථය මඟ කැඩී අසරණව සිටි මගීන්ට පිහිට වූ බළන්ගොඩ ඩිපෝවේ සේවක මහත්වරු රාත්‍රී ආහාරය දෙයි

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් මගීන් පිරි ලංගම බස්‍ රථයක් බළන්ගොඩ ප්‍රදේශයේදී පසුගිය 02 වැනිදා අලුයම හදිසි කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසුව එහි සිටි මගීන්ට බළන්ගොඩ ඩිපෝවේ කළමනාකාර එච්. ධර්ම ශ්‍රී හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ඩිපෝවේ සේවක පිරිස විසින් රාත්‍රි ආහාරදීමේ ආදර්ශවත් සද්ක්‍රියාවක් වාර්තා විය.

ලංගම බදුල්ල ඩිපෝවට අයත් එන්. බී. 4146 දරන ලංගම බස්‍ රථය කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පොළෙන් පසුගිය 01 වැනි දින රාත්‍රි 7.15ට බදුල්ල බලා ගමන් ආරම්භ කළේය.බස් රථයේ ආසනගත මගීන්ට අමතරව තවත් මගීන් රැසක් ගමන් කරමින් සිටි අතර බස් රථය කිසිදු ආපදාවකින් තොරව රියැදුරු මහතා විසින් ධාවනය කළේය. මේ අතර බස් රථය පැල්මඩුල්ල නගරයට ළඟා වීමෙන් අනතුරුව හදිසියේ කාර්මික දෝෂයකට ලක් විය.කෙසේ වෙතත් රියැදුරු මහතා මගීන් අපහසුතාවට පත් නොකර බස් රථය ආසන්නම ලංගම ඩිපෝව වන බළන්ගොඩ ඩිපෝවට මහත් වෙහෙසක් දරා රැගෙන යන ලදි.මගීන් සියලුම දෙනා රාත්‍රි බළන්ගොඩ ඩිපෝවේ ප්‍රධාන ගේට්ටුව අසල බස්සවා බස් රථයේ ආපදාව පිළිසකර කිරීමට ඩිපෝවට රැගෙන ගියේය.ටික වේලාවට පසුව මගීන් සිටි ස්ථානයට පැමිණි ඩිපෝවේ සේවක මහතකු වන ඩී.එස්. මහතා බස්‍ රථයේ පැමිණි සියලුම දෙනාට රාත්‍රි කෑම ගැනීමට උඩට එන්න කියා ඔවුන්ට රාත්‍රි ආහාරය ලබා දුන්හ.ආපදාවට ලක්වූ ලංගම බස්‍ රථය ද කඩිනමින් පිළිසකර කරදී අසරණව සිටි මගීන්ගේ කුසගිනි නිවාලීමට කටයුතු සිදු කළ බළන්ගොඩ ඩිපෝවේ කළමනාකාර එච්. ධර්ම ශ්‍රී හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ඩිපෝවේ සේවක පිරිස බළන්ගොඩ ඩිපෝවට වසර 50ක් පිරීමේ දිනයේම සිදු කළ මේ සද්ක්‍රියාව සැබැවින්ම ශ්‍රී ලංගමටත්, රටටත්, ජාතියටත් මහත් ආදර්ශයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *