ණය නොගෙවීම හේතුවෙන් ණයකරුවන්ගේ දේපළ බැංකු විසින් අත්පත් කර ගනු ලැබීම ලබන දෙසැම්බර් මස 15 වැනිදා දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම තීරණයට අනුව ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉහත තීරණය ගෙන ඇත්තේ පසුගිය වසර තුනක පමණ කාලයක සිට පවතින ආර්ථික තත්ත්වය මත ණය ගෙවීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමිනි. දැනට පවතින නීතිමය තත්ත්වය මත ණය නොගෙවන්න්ගේ දේපළ බැංකු විසින් පවරාගෙන වෙන්දේසි කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද ( 27 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව කී ඇමැතිවරයා මෙම තත්ත්වය මත බැංකු පද්ධතියට ද හානියක් නොවන ආකාරයට ණය ගෙවීම සඳහා යම් සහන කාලයක් ලබා දීම යෝග්‍ය බව කැබිනට් මණ්ඩලයට පෙනී ගොස් තිබෙන බවත් කීවේය.