ඉදිරියේදී බැංකු පොලී අනුපාත තවත් පහළ දාන්න මහ බැංකුව තීරණය කරයි

ඉදිරියේදී බැංකු පොලී අනුපාතය තවදුරටත් අඩුවන බවත්, ඒ අනුව බැංකුවලින් ණය ප්‍රසාරණය කිරීම තවදුරටත් වැඩි කරනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ජී.ජේ.කේ. එදිරිසිංහ පැවසීය.

තවද රජය විසින් මහ බැංකුවෙන් ණයගැනීම සීමා කර ඇතැයි ද ඔහු කීවේය.

ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශය මගින් සංවිධානය කරන ‘අයවැය – 2024’ පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ 06 වැනි සම්මන්ත්‍රණය අරලියගහ මන්දිරයේදී පසුගියදා පැවැති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

වැට් බදු වැඩි කිරීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී උද්ධමනයේ ඉහළ යෑමක් සිදුවිය හැකි බවත්, ඊළඟ වසර තුනේදී රටේ ආර්ථික වර්ධනය 5%කින් ඉහළ යනු ඇති බවත් හෙතෙම කීවේය.

රජය විසින් ආනයන සීමා ලිහිල් කළද ආනයනවල විශාල වර්ධනයක් සිදුවී නොමැති බවද මාසයක අපනයන ආදායම රුපියල් බිලියනයක් පමණක් යැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම මාසය අවසන් වනවිටදී රටේ ඩොලර් සංචිතය බිලියන හතර ඉක්මවා යනු ඇති බවත්, වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලදී ගෙන විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ දැමීමට මහ බැංකුව සැලසුම් කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *