බැසිල්ගේ සැලසුමට මහින්ද එකග වෙයි – පාර්ලිමේන්තුව තව මාස දෙකක් තුළ විසුරුවන සැලසුම එළියට

මේ සියලු ගැටුම් මැද මාර්තු මස මුලදී පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ යළිත් ලංකාවට පැමිණීමට සැලසුම කර සිටින බව අපි පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී අප කියා සිටියේ අප්‍රේල් මස අවසාන සතියේ යළි ලංකාවට පැමිණීමට බැසිල් තීන්දු කර තිබුණත් මේ වන විට රට ඇතුළේ සහ පක්ෂය ඇතුළේ මතුව පවතින දේශපාලන උණුසුම හේතුවෙන් සිය දීර්ඝ නිවාඩුව අවලංගු කොට ලංකාවට පැමිණ යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බැසිල් තීන්දු කොට ඇතැයි කියාය.

කෙසේ වෙතත් බැසිල් මෙවර ලංකාවට එන්නේ අවාට ගියාට අත් දෙක වන වනා නොව, විශාල දේශපාලන පිම්මක් පැනීම සඳහා දැවැන්ත දේශපාලන සැලසුමක්ද සකස් කරගෙනය. බැසිල් මේ දේශපාලන සැලැස්ම සකක් කළේ අද ඊයේ නොව, ඇමෙරිකාවට ගිය මුල් කාලයේදීමය. ඇමෙරිකාවේ සිටියදීද බැසිල් දිනපාතම පාහේ පක්ෂ නායක මහින්දට සහ පක්ෂ මහලේකම් සාගරට කතාකොට පවතින දේශපාලන වටපිටාව සහ සිදුවන දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් පූර්ණ විස්තරයක් ලබාගත්තේය. එපමණක් නොව රට පුරාම සිටින පොහොට්ටු දෙවැනි පෙළ නායකයන් සමග සහ ගම් මට්ටමේ සිටින පොහොට්ටු ප්‍රධානීන් සමග දිනපතාම අදහස් හුවමාරු කරගත්තේය. මීට අමතරව බැසිල් ඉතා රහසිගත ලෙස පවතින දේශපාලන වටපිටාව යටතේ ඉදිරි මැතිවරණයකදී ඡන්ද බෙදී යෑම සම්බන්ධයෙන් මත විමසුම් දෙකක්ද සිදුකළේය.

මත විමසුමේ ප්‍රතිපලය

මෙම මත විමසුම් දෙකේම ප්‍රතිඵල පසුගිය සතිය වන විට බැසිල් අතට ලැබී තිබුණු අතර, ඉන් අතිශය වැදගත් කරුණු 2ක් අනාවරණ කොට තිබිණි. ඉන් පළමුවැන්න වී තිබුණේ තවදුරටත් පොහොට්ටුව ආණ්ඩුව ඇතුළේ සිටීම පක්ෂයට ඉතා අවාසිසහගත යැයි කියාය. දෙවැන්න වී තිබුණේ කුමන පසුබෑම් පැවැතියද තවමත් ගම් මට්ටමින් පොහොට්ටුවට 20%ක 22%ක ඡන්ද ප්‍රතිශතයක් පවතින බවත්, තනිකරම එය මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන සාධකය හේතුකොට ගෙන පවතින බවත් අනාවරණය කොට තිබීමය.

මෙම ප්‍රතිඵල අතේ තබාගෙන දින ගණනාවක් විශ්ලේෂණය කළ බැසිල් මහින්ද සමගද ඒ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී බැසිල්ගේ ගණන් හැදිල්ල වී තිබුණේ මේ අවස්ථාවේදී පොහොට්ටුවට ජනාධිපතිවරණයකට යනවාට වඩා මහ මැතිවරණයකට යෑම ඉතා වාසිදායක බවකි. එය මහින්දටද දැනුම් දුන් බැසිල් මෙවර ලංකාවට එන්නේ ඊට අදාළ දේශපාලන සැලැසුමද, ඒ සැලැසුම දියත් කරන කාලවකවානුවද නිශ්චය කරගැනීමෙන් අනතුරුවය.

බහුතරය නැතිවෙයි?

ඒ අනුව ලංකාවට පැමිණෙන බැසිල් ගහන්න යන දේශපාලන ගේම කුමක්ද?

මහ මැතිවරණයක් ඔළුවේ තබාගෙන එන බැසිල්ගේ සැලසුම වී ඇත්තේ මාර්තු අග හෝ අප්‍රේල් මුල වන විට පොහොට්ටුව නිල වශයෙන් විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු සැලැස්වීමය. ඒ හරහා ආණ්ඩුවට බහුතරය අහිමි කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන තැනට කටයුතු කිරීම බැසිල්ගේ සැලසුම වී තිබේ. බැසිල් මෙම තීන්දුව තනිව ගත් එකක් නොව, මහින්ද සමගද දීර්ඝව සාකච්ඡා කොට ගත් එකක් බව අපට ඇති තොරතුරුවලින් ආරංචිය.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගන්නා තීන්දුවට පොහොට්ටුවේ 100%ක් මන්ත්‍රීවරු එකඟ නොවන බව බැසිල් නොදන්නවා නොවෙ. විශේෂයෙන් ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුන් පක්ෂයේ තීන්දුවට පිටින් යා හැකි බවටද බැසිල් ගණන් බලා තිබේ. ප්‍රසන්න රණතුංග, ප්‍රමිත බණ්ඩාර, දිලුම් අමුණුගම වැනි පොහොට්ටු ප්‍රබලයන්ද, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, අනුර යාපා, සුසිල්, ප්‍රියංකර ජයරත්න යන කණ්ඩායමද මෙසේ පොහොට්ටුව සමග විපක්ෂයේ අසුන් ගැනීමට කටයතු නොකරනු ඇති බවට බැසිල් ගණන් හදා තිබේ. නමුත් පක්ෂය ගන්නා තීන්දුවට අනුව විපක්ෂයේ අසුන් ගැනීමට පැමිණෙන්නේ මන්ත්‍රීවරු 20ද, 25ද ඔවුන් සමග ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීමට බැසිල් දැනටමත් සැලසුම් හදා අවසන්ය.

නොඑන අයට වෙන දේ

එමෙන්ම පක්ෂයේ තීන්දුව අනුව කටයුතු නොකරන කිසිදු අයකුට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට බැසිල් දැනටමත් දැඩි තීන්දුවක් ගෙන තිබේ. එසේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමග සිටින පොහොට්ටු ප්‍රබලයන් වෙනුවට ඒ ඒ දිස්ත්‍රික්කවල දෙවැනි පෙළ නායකයන් මහ මැතිවරණයේදී ඉදිරියට ගැනීම බැසිල්ගේ සැලසුම වී ඇත. සාමාන්‍යයෙන් බැසිල් හැමදාම දේශපාලනය කළේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා ගමේ දේශපාලන නායකයන් සමගය. 2018දී පොහොට්ටුවේ ජයග්‍රාහී දේශපාලන ගමන සනිටුහන් කරමින් පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටු ලකුණ ජයග්‍රාහී ලකුණක් බවට බැසිල් පත් කළේ මේ ගමේ නායකයන් හරහාය. ඒ අනුව බැසිල්ගේ සැලසුම වී ඇත්තේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටු ඇමැතිවරුන් වෙනුවට ඒ ඒ දිස්ත්‍රික්කවල දෙවැනි පෙළ පොහොට්ටු නායකයන් ඉදිරියට ගෙන ඔවුන්ට නාමයෝජනා ලබා දීමත්, ආණ්ඩුව සමග සිටින කිසිවකුටත් නාමයෝජනා ලබා නොදීමටත්ය.

එසේ ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටු මැති ඇමැතිවරුන් ඉදිරි මහ මැතිවරණයේදී අලියාගෙන් හෝ වෙනත් ලකුණකින් තරග වැදුණහොත් ඒ සියලු දෙනාම නියත වශයෙන්ම පරාජයට පත්වනු ඇති බවත්, ඔවුන්ට කිසිදු දිස්ත්‍රික්කයක 2%ක හෝ 3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවත් බැසිල්ගේ ගණන් හැදීම වී තිබේ. නමුත් පොහොට්ටුව සෑම දිස්ත්‍රික්කයකින්ම සැලකිය යුතු මන්ත්‍රීවරු ප්‍රමාණයක් මහ මැතිවරණයේදී ජයග්‍රහණය කර පාර්ලිමේන්තු යැවීමට හැකි බවද බැසිල්ගේ ගණන් හැදීම වී ඇත. ඒ අනුව බැසිල් මෙවර ලංකාවට පැමිණෙන්නේ නිකම් නොව ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර පොහොට්ටුව විපක්ෂයේ අසුන් ගන්වා ආණ්ඩුවට බහුතරය අහිමි කොට මහ මැතිවරණයට අවශ්‍ය පාර කපාගැනීමේ සැලසුමද අතැතිවය.

රනිල් මහින්ද හමුවක්

මේ ආකාරයට බැසිල් පොහොට්ටුව ආණ්ඩුවෙන් ගැලවීමට සූදානම් වෙද්දී පසුගිය සතියේ තවත් විශේෂ හමුවක් ආණ්ඩුවේ ප්‍රබලයකු හා පොහොට්ටුවේ ප්‍රබලයකු අතර සිදුවිය. ආණ්ඩුවේ ප්‍රබලයා වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාය. පොහොට්ටුවේ ප්‍රබලයා වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

ජනාධිපතිවරයා හා මහින්ද අතර මේ ආකාරයට හමුවීම් කිහිපයක්ම පසුගිය කාලයේදී සිදුවිය. ෂැංග්‍රිලා හෝටලයේ සහ වෙනත් විශේෂ ස්ථානවල මේ දෙදෙනාගේ හමුවීම්වලින් පසු ඒ සම්බන්ධයෙන් විමසූ හිතවතුන්ට මහින්ද කියා තිබුණේ මෙම සාකච්ඡාවලදී ජනාධිපතිවරයා දෙශපාලන කරුණු කිසිවක් කතා නොකරන බවත්, එදිනෙදා වටපිට සිදුවන යම් යම් සිදුවීම් සම්බන්ධව පමණක් කතා කරන බවත්ය. නමුත් පසුගිය සතියේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති දෙදෙනාගේ මෙම හමුවීම නම් ඊට වඩා වෙනස් මුහුණුවරක් ගත් එකක් විය හැකි බව බොහෝ දෙනාගේ අදහසය. ඊට හේතුව ජනාධිපතිවරයා මේ වන විට දේශපාලන වශයෙන් යම් හිරවීමක සිටීමත්, රටේ දේශපාලනය ඉතා උණුසුම් වී තිබීමත්ය. ඒ අනුව එවැනි වටපිටාවක් මැද පැවැති මෙම හමුව දේශපාලන මාතෘකාවලින් පිරීගිය එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *