බළන්ගොඩ – කල්තොට මාර්ගයේ දිගදුරේ ප්රදේශයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් මතට නා ගසක අත්තක් කඩාවැටීමෙන් එම බස් රථයේ ගමන් කරමින් සිටි පාසල් දරුවන් ඇතුළු සියයකට ආසන්න පිරිසකගේ ජීවිත ඊයේ (04) අනූනවයෙන් බේරී ඇතැයි බළන්ගොඩ පොලිසිය පවසයි.
මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා ඇතිව තිබේ.
බළන්ගොඩ සිට තැන්න හරහා කූරගල දක්වා එම බස් රථය ධාවනය වෙමින් තිබියදී මාර්ගය අසල තිබූ නා ගසක විශාල අත්තක් මාර්ගයට කඩාවැටෙන අයුරු රියැදුරු දැක තිබෙන අතර, ක්ෂණිකව ක්රියාත්මක වූ රියැදුරු බස් රථය නතර කර තිබේ. බස් රථය නතර කර නොගත්තා නම් එම ගස බස් රථයේ මැද කොටසට කඩා වැටී විශාල අනතුරක් සිදු වන්නට තිබුණ බව පොලිසිය පැවැසීය.
ජගත් කුමාර නමැති බළන්ගොඩ ඩිපෝවේ සේවය කරන මේ රියැදුරු මහතාගේ දක්ෂතාවෙන් සිදු වෙන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවී තිබෙන බව පොලිසිය කීවේය. බස් රථයට ද හානි සිදුව තිබේ.
බළන්ගොඩ පොලිසිය, බළන්ගොඩ ප්රාදේශීය සභාව සහ ප්රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.