පාසල් ළමුන් අතර මේ දිනවල බහුලව ව්‍යාප්ත වන බව කියන මත්ද්‍රව්‍ය අඩංගු විදේශීය ටොෆි වර්ගයක් ගැන කියමින් වට්ස්ඇප් සමාජ මාධ්‍යයේ පණිවුඩයක් සංසරණය වුවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වා දෙන්නේ එම ටොෆි වර්ගයේ මත්ද්‍රව්‍ය අඩංගු වන බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
“Tattoo Popping Candy” නමින් හඳුන්වන විදේශීය ටොෆි වර්ගයක මත්ද්‍රව්‍ය අඩංගු වන බවත් එය පාසල් දරුවන් අතර ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාසල් ආශ්‍රිතව වෙළෙඳසල්වල අලෙවි කිරීමට සහ පාසල් තුළ බහුලව ඇති බවත් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ පණිවුඩ හුවමාරු වෙමින් පවතී. මෙම ටොෆි විශේෂය ආහාරයට ගන්නා විට කට තුළ පුපුරා යන බවත් ඒ තුළ කුඩු වර්ගයක් ඇති බවත් ඉන් දරුවන් මත්වන බවත් පණිවුඩයෙහි සඳහන් වේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන හා තොරතුරු නිලධාරි චාමර කරුණාරත්නගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු පැවසූයේ මෙම ටොෆි වර්ගය විදෙස් රටකින් ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතත් එහි මත්ද්‍රව්‍ය අඩංගු බවට වාර්තා වී නොමැති බවයි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අවධානයෙන් පසුවන බවද හෙතෙම කීවේය.
කෙසේ වුවද මෙම ටොෆි විශේෂයේ අධි ආම්ලික තත්ත්වය සහ කාබනේට් අඩංගු කර ඇති බැවින් ඇතිවන පිපිරීම සහ අධික ආම්ලිකබව හේතුවෙන් ළමුන්ගේ මෘදු පටකවලට සහ ආමාශයට හානි විය හැකි බව අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පෙන්වා දෙයි.