රජය තරාතිරම බලා කිසිවකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිලි වන බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවාය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිනිය මෙසේද කීවාය.
ජනාධිපතිතුමන් විසින් 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කළ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නීතිය මත පාලනයක් සමප්‍රවේශීය අධිකරණ පද්ධතියක් යටතේ, අල්ලස් කොමිසම සහ නීතිපති කොමිසම මගින් ඉල්ලා අස් කර ගන්නා ලද නඩු නැවත සමාලෝචනයට ලක් කර සුදුසු නඩු සඳහා නැවත නඩුකර පැවරීමට කටයුතු කරනවා. 2019 වර්ෂයේ සිට 2024 දක්වා ඉල්ලා අස්කර ගත් මුළු නඩු සංඛ්‍යාව 102ක්. එයින් 65කට නැවත නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. 34ක් සඳහා නැවත නඩු නොපැවරීමට තීරණය කළා. තවත් නඩු 3ක් නැවත නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටිනවා.
මේ වන විට ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ යම් අදහසක් තියනවා නම් කවුරුවත් ආරක්ෂා කරන්න රජය කටයුතු කරන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලියි. මේ පාර්ලිමේන්තුවේ සිටින සහ දැනට පාර්ලිමේන්තුවේ නැති බොහෝ දෙනෙක්ට නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. වසර 15ක් 20ක් පැරණි සිද්ධි නැවත විමර්ශනය කරමින් අපිට මේ නඩු පැවරීම සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒකට යම් කාලයක් යනවා.
අපි තරාතිරම බලලා නෙමෙයි මේවා තීරණය කර තිබෙන්නේ. අදාළ නඩුකරවලට පවතින සාක්ෂි අනුව ගත හැකි සියලු පියවර අපි ගනිමින් ඉන්නවා. රජය කිසි ලෙසකින් කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ. පැවැති ආණ්ඩුවල සිටි එකිනෙකා ආරක්ෂා කළ අයම රජය අධිකරණ ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යනවිට එකිනෙකා ආරක්ෂා කරනවාදැයි අහන ප්‍රශ්නයම විහිළුවක්.