බුදුන් ලංකාවේ ඉපදුණු කතාව කුමන්ත්‍රණයක් – අස්ගිරි මහා නාහිමි කියයි

කලෙක සිට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කළ බුදු දහම විනාශ කිරීමේ ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ කල වර්තමානයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා උපයෝගී කර ගනිමින් බුදුන්ටත් භික්ෂුන් වහන්සේටත් අපහාස කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යැයි වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියෝ පසුගිය දා පැවසූහ.

බුද්ධ චරිතය හා සම්බන්ධ ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක තොරතුරු විකෘති කර උන්වහන්සේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ උපත ලැබූ බව කියන්නට සිවුරු ලාගත් ඇතැම් පුද්ගලයන් උත්සාහ කරන බවත් මොවුන් මේ ආකාර ප්‍රකාශ කරන්නේ බාහිර පාර්ශ්වවල අවශ්‍යතා ඉටුකරන්නට ද යන සැකය මතුවන බවත් මහ නාහිමියෝ පැවසූහ.

පොල්ගොල්ල සාලවන විහාරස්ථානයේදී පසුගිය 29දා පැවති උත්සවයකදී අස්ගිරි මහ නාහිමියෝ මෙසේ ද කීහ.

“පසුගිය කාලයේ නොයෙක් වෙස් ගත් පුද්ගලයන් තමන් බුදු වුණා, සෝවාන් වුණා, මාර්ගඵල ලැබුවා. තමන් බෝධිසත්වයන් වැනි මුසා අදහස් පළ කරමින් බෞද්ධ ජනතාව නොමග යවමින් බෞද්ධ හර පද්ධතියට පහර ගැසීමට උත්සාහ කළා. ඇතැම් පුද්ගලයන් මේ මිථ්‍යා දෘෂ්ටිකයන්ට මුළා වුණා. එම පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම පිළිබඳව ජනපති ප්‍රමුඛ රජයට ස්තූතිය පුද කරනවා.

යම් යම් බාහිර බලවේග මෙරට බෞද්ධ ජනතාව හා භික්ෂුන් වහන්සේ අතර පවත්නා සම්බන්ධතාව බිඳ දැමීමට නොයෙක් ආකාරයේ කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා.”

මෙම අවස්ථාවට පොල්ගොල්ල, ශ්‍රී සාලවන විහාරයේ විහාරාධිපති අමරපුර නිකායේ මධ්‍යම වයඹ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිරාවන සීලානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නයද මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගිව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *