කිසිවකු අත නොහැර නිෂ්පාදන ආර්ථිකයක් කරා.. අරමුණු කොට ගනිමින් මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිය රජයේ දෙවැනි අය-වැය අද (07) පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
නිදහස් ශ්‍රී ලංකාවේ අසූ වැනි (80) අය-වැය මෙයයි.
මේ වසරේ (2025) පෙබරවාරි 17 වැනිදා සිය රජයේ මංගල අය-වැය ඉදිරිපත් කරමින් ජනපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තුන් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළේය. එහි පළමු අදියර මේ වසරේදී රුපියල් මිලියන 110,000 ලබාදෙමින් ක්‍රියාත්මක කළේය.
එහි දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම, පෞද්ගලික අංශය සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීම, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම, ගම, අර්ධ නාගරික සහ නාගරික යටිතල පහසුකම් දියුණු කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වේගවත් කිරීම යනාදියට මෙවර අය-වැයෙන් වැඩි මුදලක් වෙන්කොට ඇත.
මේ අනුව ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 4,434ක මුදලක් වෙන්කර තිබේ. ජනාධිපති වැය ශිර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කර ඇති අතර සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් බිලියන 8.29ක් වෙන් කර ඇත. එම මුදල ද ජනාධිපති වැය ශීර්ෂයට අයත් වේ.
මෙවර වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ. එමෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 596ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554ක් , ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 455ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට මෙවර අය-වැයෙන් රුපියල් බිලියන 301ක් වෙන්කර ඇත.
2026 වසරේදී වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3,800ක් බව විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වේ.
රට පුරා පුළුල් සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හරහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සඳහා රජයේ වියදම් යෝජනා සියයකට වැඩි ප්‍රමාණයක් මෙවර ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.
වාර්ෂිකව සියයට හතර ඉක්ම වූ අඛණ්ඩ ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම, විදෙස් ණය නොව හැකි තරම් සෘජු විදෙස් ආයෝජන කැඳවා ගැනීම, උද්ධමනය පාලනය කිරීම සහ රුපියල ශක්තිමත් කිරීම අය-වැයෙන් යෝජනා ඉදිරිපත් කරනු ඇත.
සමාජ ආර්ථික සංවර්ධනය සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, ආයෝජන වැඩිදියුණු කිරීම සහ අපනයන ආදායම් වැඩි කරගැනීම රජය ඉලක්කය වී තිබේ. ගම නගරය එක සේ සංවර්ධනය කරන අතරම එය හැකි තරම් ජනතා සහභාගිත්වයෙන් සිදු කිරීමට බලපාන යෝජනා මෙවර අයවැයෙන් ගෙන එන බව කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
රජයේ ප්‍රාග්ධන වියදම් ඉතා ශීඝ්‍රයෙන් ජනතා සුභසාධනය සහ සංවර්ධනය ඉලක්ක කළ වැඩසටහන් සඳහාම ලබාදීමට මෙවර අයවැයෙන් මූලිකත්වය ගෙන ඇත.
එමෙන්ම රජයේ වියදම් යෝජනා ඉතා ඵලදායි සහ කාර්යක්ෂම ලෙස යොදවා ගැනිමට වැඩි ඉඩක් මෙවර ලබා දෙන බව ද ඇමැතිවරයා කීය.
ගම් මට්ටමේ මාර්ග, මහා මාර්ගය, ජල, විදුලි, නිවාස, පොදු යටිතල පහසුකම්, ආගමික, කලා, ක්‍රීඩා, රසාස්වාදය, ජාතික සමඟිය සහ සහජීවනය ඇති කරන යෝජනා සඳහා වැඩි මුදලක් වෙන් කෙරේ.
අපනයන වෙළෙඳපොළ ජයගැනීමට නව නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා ඉහළ දිරි ගැන්වීම් ලබා දෙනු ඇත. තරුණ තරුණියන් හට නව ව්‍යාපාර ආරම්භ කිරීමට දිරිගැන්වීම සිදුකෙරේ.
රටේ මානව සම්පත් සංවර්ධනය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට අවශ්‍ය නව වැඩසටහන් සඳහා මුදල් වෙන් කෙරේ. දැනට අඩපණ වී සහ කඩා වැටුණු ව්‍යාපාර දිරි ගැන්වීමට සහනය ලබා දෙන අතර අලුතින් බදු හඳුන්වාදීම වෙනුවට බදු ගෙවිය යුතු පිරිස් කැමැත්තෙන් බදු ගෙවන ආකාරයට ඔවුන්ගේ ආකල්ප වැඩිදියුණු කිරීමට යෝජනා ගෙන එනු ලැබේ.
බදු දැල පුළුල් කිරීමට කරනු ලබන යෝජනා, බදු ගෙවීම ජාතික වගකීමක් ඉටු කිරීමක් යන හැඟීම ජනතාවගේ සිත්වලට පහළ කිරීමට සමත් වන ආකාරයට සිදු කරන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
දැනටමත් රජය සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි ආකාරයට කටයුතු කරමින් සිටින බව කී අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, වසර 2026/27 සහ 28 වන විට අප ළඟා කරගත යුතු ආර්ථික ඉලක්ක ගැන ලොකු අවධානයක් මෙවර අය-වැයෙන් යොමුකර ඇතැයි ද කීය.
දේශීය හා විදේශීය ආයෝජන වැඩි වශයෙන් යොමු කරගන්නා අතර රජය විදේශීය ණය ගැනීම් සීමා කරගනිමින් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට වැඩි අවධානයක් යොමු කර තිබේ . ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකු සහ මිත්‍රශීලි මූල්‍ය ආයතන සමඟ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට රජය බලාපොරොත්තු වේ.
අද දවසේ අප මුහුණ දෙන අභියෝග සහ අසීරුතා හෙට දවසේ අනාගත පරපුරට උරුම නොකොට සෞභාග්‍යවත් අනාගතයක් ගොඩනැඟීමට ඉකුත් අයවැයෙන් දමා ඇති අඩිතාලම ශක්තිමත් කරගෙන ඉදිරියට යෑම මෙවර අය-වැයේ මූලික හරය බව ඇමැතිවරයා පැවසීය.