දුර ගමන් සඳහා යොදා ගන්නා බස් රථවල ප්‍රමිතිය සඳහන් වාර්තාව ඉදිරියේදී අනිවාර්ය බවත් ඒ පිළිබඳව විමසීමේ පූර්ණ අයිතිය මගීන් සතු වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (ඔක්. 9) පෙරවරුවේ බැස්ටියෙන් මාවත මගී බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන කිලෝමීටර් සියයකට වඩා දුර ධාවනය වන බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව ඒකාබද්ධව ආරම්භ කළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් ඩිමෝ (DIMO) ආයතනයේ පූර්ණ දායකත්වය හිමි වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙසේ ද කීවේ ය.
“මෑත කාලයේදී සිදුවූ බස් රථ අනතුරු හේතුවෙන්, බස් රථවල ධාවන දුර්වලතා නිසා මේ ආකාරයෙන් අනතුරු සිදුවන බවට සමාජය තුළ කථිකාවක් ඇතිවෙලා තිබෙනවා. ඒ අනුව වාර්ෂිකව සිදුකරන පරීක්ෂාවට අමතරව, ධාවනයට ප්‍රථම බස් රථවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුණා. එහි ප්‍රතිඵලයක් හැටියට ප්‍රවාහන අමාත්‍යාංශය විශේෂ කමිටුවක් මගින් වාහනයක පරීක්ෂා කළයුතු අංග පිළිබඳව එකඟතාවකට ආවා. ඒ අනුව නිර්මාණය කළ ලැයිස්තුව පදනම් කරගෙන තමයි අද මේ පරීක්ෂාව සිදු කරන්නේ. වාර්ෂිකව වාහනයක ලබාගන්නා ප්‍රමිති සහතිකයට අමතරව මාසිකව, සුදුසුකම් ලත් පුද්ගලයෙක් විසින්, සුදුසුකම් ලත් ආයතනයක් මගින් තම වාහන පරීක්ෂා කරගෙන, අදාළ සහතිකය බස් රථය තුළ තබාගැනීම කළ යුතු යි. ඕනැ ම වේලාවක එම වාර්තාව පරීක්ෂා කිරීමේ අයිතිය බස් රථයේ ගමන් ගන්නා මගීන්ටත් හිමි වෙනවා. අදින් ආරම්භ කෙරෙන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී අනිවාර්ය සාධකයක් ආකාරයෙන් නීතිගත කිරීමට බලාපොරොත්තු වෙනවා “
ඊයේ පෙරවරුවේ පිටකොටුව බැස්ටියන් මාවත මගී පර්යන්තයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ බස් රථ කිහිපයක ධාවන තත්ත්වය පරීක්ෂා කිරීම, ඩිමෝ ආයතනයේ තාක්ෂණික ශිල්පීන් විසින් සිදු කරන ලදී.
එම අවස්ථාවේදී ම අදාළ බස් රථවල ප්‍රමිති සහතිකය නිකුත් කළ අතර ඉදිරියේදී මේ ආකාරයෙන් මසකට වරක් සිය බස් රථ පරීක්ෂා කරගැනීමෙන් අනතුරුව අදාළ සහතිකය බස් රථ තුළ තබා ගතයුතු බවට ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ ය.