සල්ලි හොයන්න අලුත් ක්‍රමයක් සොයා ගනියි – ළමයි පිටරටට විකුණන ඡාවාරමක්

බිලිඳුන් සහ කුඩා දරුවන් දරුකමට හදා ගැනීම සඳහා විදෙස් ජාතිකයන් වෙත විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (23) දැනුම් දුන්නේය.

මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම් හා ජාවාරම් විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඓලෙස දැනුම් දුන්නේය.

එම ජාවාරමේ ගොදුරක් බවට පත්ව මේ වන විට නෝර්වේ රටෙහි වෙසෙන කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊට අදාළ සැකකරුවන් සොයා විමර්ශන කටයුතු පවත්වන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

තමා මාස 01 ක් පමණ වයසේදී එනම් 1992 වර්ෂයේ පමණ නෝර්වේජියානු යුවළක් වෙත දී තිබෙන බවත්, තමාගේ මාපියන් සෙවීමට මෑත කාලයේදී කටයුතු කළ බවත් අදාළ කාන්තාවගේ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ අනුව තමාගේ මාපියන් ශ්‍රී ලාංකිකයන් බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව, ඔවුන් සොයා මෙරටට පැමිණි බවත්, ඒ අනුව තම මව සොයාගත් බවත් නෝර්වේ වෙසෙන කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන් විය.

ආර්ථික අපහසුතා නිසා තමාව මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකුට දුන් බවත්, තමාගේ සහෝදරයාද එලෙස දුන් බවත් මවගෙන් අනාවරණ වූ බව දන්වා සිටින පැමිණිලිකාරිය මහනුවර ප්‍රදේශයේ එක්තරා කල්ලියක් විසින් දරුවන් ගෙන ව්‍යාජ ලේඛන සකස් කර විදේශගත පුද්ගලයන්ට විකුණන බවද දන්වා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසත්, ඊට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *