උග්‍ර පිළිකා කාරක දිලීරයක් අඩංගු වීම හේතුවෙන් වෙළෙඳපොලෙන් මිලදී ගන්නා හෝ නිවසේ ගබඩා කර ඇති පුස් බැඳුණු ධාන්‍ය වර්ග හා කුළුබඩු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්. සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි.
අප දෛනිකව ආහාරයට ගන්නා සහල්, මිරිස්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, පොල් තෙල් සහ පොල් මෙන්ම රටකජු, බඩඉරිඟු, වියළි ආහාර, එළවළු තෙල් වර්ග, සෝයා බෝංචි සහ කිරි නිෂ්පාදන ඇතුළු බොහෝ ආහාර වර්ගවල ඇෆලටොක්සීන් වර්ගයේ උග්‍ර පිළිකා කාරක දිලීර විශේෂයක් අඩංගු වීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව රත්නායක මහතා කියයි. ඇෆලටොක්සීන් වංශයට අයත් ඇස්පජිලස් ෆ්ලාවුස් හා ඇස්පජිලස් පැරසිටිකස් යන දිලීර දෙක මගින් මෙම දිලීර විශේෂය අදාළ ආහාර වර්ගවල ඇති වන බවත් එම දිලීරය අඩංගු ආහාර කොපමණ වියළීමට හා ශීතකරණය තුළ ශීත කිරීමට ලක් කළද දිලීරය විනාශ නොවන බවත් පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂක රත්නායක මහතා ඇෆ්ලටොක්සීන් වර්ගයේ දිලීර ක්ෂණික මරණවලටද හේතු විය හැකි නිසා ජනතාව ඒ ගැන සැළකිලිමත් විය යුතු බව අවධාරණය කළේය. “මෙම ඇෆ්ලටොක්සීන් දිලීර විශේෂය හේතුවෙන් පුස් අන්තර්ගතව ඇති ආහාර කිසි විටෙක ආහාරයට නොගැනීමටත් දරුවන්ට එම ආහාර වර්ග ලබා දීමෙන් වැළකීමත් වැදගත්. මෙයට අමතරව බඩඉරිඟු, සහල්, මුංඇට ඇතුළු වෙනත් ධාන්‍ය වර්ගවලින් සැකසූ ආහාර වර්ගවලද මෙම දිලීරය අඩංගු විය හැකි නිසා ඒවා ළමුන්ට දීමේදී සැලකිලිමත් විය යුතුයි. දීර්ඝ කාලයක් ආහාර ගබඩා තුළ ගබඩා කර තැබීමෙන් ඒවායේ පුස් ඇති වන අතර එයට ඇෆ්ලටෝක්සීන් වර්ගයේ පිළිකා කාරක දිලීරයද හේතු වේ. මිරිස්, කොත්තමල්ලි, කහ ඇතුළු කුළුබඩු වර්ග නිවසට ගෙන ඒමෙන් පසු ඒවා කුඩු කර තබා ගත හැකි නම් මෙම පිළිකා කාරක දිලීරයෙන් ඇති වන බලපෑම් අවම කරගත හැකියි. මෙම ඇෆ්ලටෝක්සින් වර්ගයේ දිලීර පරික්ෂා කිරීමේ ක්‍රමවේද රට තුළ පැවතියද ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් නැහැ’ යැයි රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.