දුර ගමන් මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලුම බස් රථ සඳහා 2026 ජනවාරි 1 වැනිදා සිට මූලික මාර්ග යෝග්‍යතා සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් නව ගැසට් පත්‍රයක් කඩිනමින් නිකුත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පවසයි. ඒ අනුව මාර්ග යෝග්‍යතා පරීක්ෂණය වාර්ෂිකව සිදු කළ යුතු බවත් සෑම බස් රථයක්ම ඒ සඳහා නිල සහතිකයක් ලබා ගත යුතු බවත් හෙතෙම පැවැසීය.
අනතුරක් හෝ මාර්ගයේ දී සිදුවන වෙනත් සිදුවීමකට අදාළ පොලිස් පරීක්ෂණවල දී මාර්ග යෝග්‍යතා සහතිකය අත්‍යවශ්‍ය වන බව සඳහන් කළ අමාත්‍යවරයා පරීක්ෂණ මධ්‍යස්ථානවල දී තම වාහන පරීක්ෂා කර ගන්නා ලෙස බස් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
මහාමාර්ග ආශ්‍රිතව බහුලව අනතුරු සිදු වීම හේතුවෙන් මේ පියවර ගත් බව ද කී අමාත්‍යවරයා බස් රථ ධාවනයට එක් කරන්නේ නම් අනිවාර්යෙන්ම යෝග්‍යතා සහතිකය ලබා ගත යුතු වන බවත් ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් කීවේය.