අද කාල්ටන් නිවසට ආපු පළාත් පාලන අපේක්ෂකයෝ කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයන් තේරීම සඳහා අද(09) දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැති වැඩසටහනට සහභාගිවෙමින්ය.
මේ අය කැමති නම් මමත් ඉල්ලනවා යැයි චමල් රාජපක්ෂ මහතා පැවසීමත් සමඟ බොහෝ පිරිසක් කොක්කඩලා සිනාසුනහ.
එහිදී චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන පක්ෂ නිරන්තරයෙන් ඉහළ පහළ යන එකක් බවයි.ඒ අනුව පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ පල්ලම් බැස්ස බවද ඔහු පැවසීය.
පසුගිය මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාවගේ අකමැත්තක් ප්‍රකාශ වූවාට වඩා සිදුවූයේ සමාජයේ වෙනසක් දකින්නට ජනතාවට අවශ්‍ය වූ බවයි.ඒ වෙනසේ රඟ දැන් ජනතාව අත්විඳිමින් තිබෙන බවද ඔහු පැවසීය.
මෙවර මැතිවරණයේදී තරුණ පිරිසක් පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් වෙන බවද කාන්තා දායකත්වයක් තිබෙන බවද ඔහු පැවසීය. මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය කතා නායක අජිත්රාජපක්ෂ,ජොන්ස්ටන් ප්‍රනාන්දු,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ඇතුළු පිරිසක් සහභාගී වූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කොට්ඨාස දහයක් සඳහා පොදු ජන පෙරමුණින් තරග කරනු ලබන අපේක්ෂකයන් තෝරා ගැනීම අද දින සිදුකරනු ලැබිණි