මෙරට අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාණයට වඩා නඩු විසඳා අවසන් කිරීමේ වේගය මේ වන විට ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසයි. නව අගවිනිසුරුතුමා ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු අධිකරණ ක්‍රියාවලියේ මෙම කැපී පෙනෙන වෙනස සිදුව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
උසාවි පවතින්නේ විනිසුරුවරුන්ට වැටුප් ලබා දීමට හෝ නීතිඥයන්ට මුදල් උපයා ගැනීමට නොවන බවත්, මහජනතාවගේ කාලය හා මුදල් නාස්ති නොකර කඩිනමින් නඩු විසඳා දීම එහි මූලික අරමුණ බවත් ඔහු පෙන්වා දුන්නේය.
සුළු කරුණු මත පදනම්ව නඩු කල් නොදමා, ඒවා කඩිනමින් විභාග කරන ලෙස අගවිනිසුරුතුමා උපදෙස් දී ඇති බවත්, ඒ හරහා මහජනතාවට වන හානිය වළක්වා ගැනීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල නීතිඥවරුන් සවස් වන තුරුම කටයුතු කරන බවත්, ගොනු කෙරෙන නඩු ප්‍රමාණයට වඩා අවසන් කෙරෙන නඩු ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.