දෙමව්පියන්ව දරුවන්ගේ අධ්‍යාපනයට යන අධික වියදමින් නිදහස් කළ යුතුයි – අගමැති හරිනි අමරසූරිය

අධ්‍යාපනය සඳහා වැය වන අධික මුදල් බරින් දෙමාපියන් නිදහස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති විශේෂ වැඩමුළුවක දී.

”සෑම ආණ්ඩුවක්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම තුළින්ම අධ්‍යාපන පද්ධතිය විශාල ව්‍යාකූලත්වයකට පත් වෙලා තිබෙනවා. අධ්‍යාපන පද්ධතිය බිද වැටීමට තවත් කාරණයක් වන්නේ එක් තැනකින් නියාමනය නොවීමයි. අධ්‍යාපන අමාත්‍යාංශය එකක් කියනවා. අධ්‍යාපන කොමිෂම තව එකක් කියනවා. ඇතැම් විට ජනාධිපති කාර්යාලයෙන් තවත් දේවල් කියනවා. මොන ප්‍රතිපත්තියද ප්‍රමුඛ විය යුත්තේ, මොන ප්‍රතිපත්තියද ක්‍රියාත්මක කළ යුත්තේ යන අපහැදිලිතාවය පහුගිය වසර ගණනාව තුළම තිබුණා. අපිට අවශ්‍යයි එම අපහැදිලිතාවයෙන් තොර අපි සියලුදෙනාට එකග වෙන්න පුලුවන්, සාමූහිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න.

අධ්‍යාපන ක්‍රමය තුළින් තමයි රටට අවශ්‍ය වටිනා පුරවැසියන් බිහි වෙන්නේ. රජයක් ලෙස අපේ ප්‍රතිපත්තියේම සඳහන් වී තිබෙන්නේ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් විය යුතුයි කියන පදනමයි. බිඳවැටුණු ආර්ථික අර්බුදය තුළ එකවර මෙය ක්‍රියාවට නැන්වීමට අපහසු වුවද ක්‍රමාණුකූලව අපි ඒ ඉලක්කය වෙත යනවා. අපේ අය වැය තුළ අධ්‍යාපනය සදහා විශේෂ අවධානයක් ලබා දෙනවා.

තමන්ගේ ආදායම දරුවන්ගේ අධ්‍යාපනයට සාධකයක් නොවිය යුතුයි කියන දේ ගිලිහී ගිහින්. නිදහස් අධ්‍යාපනය තුළින් මේ රටේ දහස් ගණන් බුද්ධිමතුන් බිහි වූවා. බොහෝ පිරිසකට ලෝකයේ ඉහළම තැන් සඳහා යාමට හැකි වූවා. නමුත් නැවත වතාවත් මුදල්, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න සාධකයක් බවට පත් වී තිබෙනවා. එබැවින් අපි පාසල් අතර අසමානතා වෙනස් කළ යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැය වන අධික මුදල් බරින් දෙමාපියන් නිදහස් කළ යුතුයි. දරුවා අධ්‍යාපනය සඳහා පාසලට භාර දුන් පසු දෙමාපියන් මැදිහත්වීම අවම කල යුතුයි. ඔවුන් නිදහස් කළ යුතුයි. මෙම ඉලක්ක වෙත යාමට දායක වන අධ්‍යාපන පරිපාලනය, විදුහල්පතිවරුන්, ගුරුවරුන් වෙත ලැබිය යුතු පහසුකම් හා අවශ්‍ය පුහුණුව ලබා දීමට විශේෂ අවධානයක් ලබා දෙනවා’’යැයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *