දෙහිවල ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලේදී බෝම්බයක් පුපුරවාගෙන මියගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් වන ජමීල් නමැත්තාගේ නම ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණ සිටින පුද්ගල නම් ලැයිස්තුවේ තිබියදීත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ක්‍රියාත්මක නොවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වැල්ලම්පිටියේ ඒ වන විට පදිංචිව සිටි ජමීල් නමැති අය අන්තවාදී අදහස් දරන්නෙක් බවත්, ඔහු යම් අන්තවාදී ක්‍රියාවකට මුලපිරීමේ අවදානමක් ඇති බවත් බුද්ධි අංශ විසින් සැකයට ලක්කරනු ලබන්නේ 2015 සිටයි. එබැවින් ඔහු සම්බන්ධයෙන් ආවේක්ෂණයක බුද්ධි අංශ නිරතව සිට ඇති බවත්, රාජ්‍ය බුද්ධි සේවයේ පවා ජමීල් සම්බන්ධයෙන් තොරතුරු තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙරට දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට අන්තවාදීන්ගේ නම් කිහිපයක් ද සමඟ ඉන්දියාවෙන් තොරතුරු ලැබීමත් සමඟ රාජ්‍ය බුද්ධි සේවය ඒ ගැන නිසි අවධානයක් යොමු කළේ නම් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ ඉඩකඩ බොහෝ බවද එම නිලධාරියා කීවේය. දෛනිකව උදෑසන 7ත් 8ත් අතර කාලයේ පෙර දින රාත්‍රී 12.00 වන විට හෝටලයට පැමිණි පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක අංශය විසින් රාජ්‍ය පුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යැවෙන බවද එම නිලධාරියා පැවැසීය. 2019 අප්‍රේල් මස 20 වැනිදා සවස ජමීල් පැමිණ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමරයක් වෙන්කරගෙන ඇති බවත්, 21 වැනිදා උදෑසන රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමු කළ හෝටලයේ නවාතැන්ගෙන සිටින පුද්ගල ලැයිස්තුවේ ජමීල්ගේ නම තිබී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
හෝටලයේ කාමරයක් වෙන්කර ගන්නා සියලුම දෙනාගේ ජාතික හැඳුනුම්පත් අංක හෝටල් දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යයෙන් සිදු කරන කාර්යයකි. එහෙත් ජමීල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පද්ධතියේ නොවූ බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කළ කොමිෂන් සභාවේදී අනාවරණය විය.