ජනපති පොදු සමාව අනිතීක ලෙස භාවිත කරමින් මේ වසරේ නිදහස් දින, වෙසක් දින හා ගිය වසරේ නත්තල් දින සිරකරුවන් 212 දෙනකු නිදහස් කිරීමට බන්ධනාගාර බලධාරීන් විසින් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙම පිරිස නිදහස් කර ඇත්තේ විශේෂ දිනයන්වලදී ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනපතිවරයාගේ අනුමැතිය ලද සිරකරුවන්ගේ ලේඛනයට පිටින් බවද එම විමර්ශනවලින් අනාවරණය වී ඇත.
නිදහස් දින ජනපති සමාවෙන් නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරුවන් 274 දෙනෙක් හෝ ඒ ආසන්න ප්රමාණයකි. එසේම පසුගිය වෙසක් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරුවන් 388ක් හෝ ඒ ආසන්න පිරිසකි. පසුගිය වසරේ දෙසැම්බර් 25 නන්තල් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරුවන් 322 හෝ ඒ ආසන්න පිරිසකට පමණි. මෙම පිරිසට අමතරව අනුමැතිය නොලද සිරකරුවන් මේ සෑම විශේෂිත දිනයකදීම නිදහස්කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙසේ නිදහස් කළ සිරකරුවන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන අධිකරණ අමාත්‍යාංශය විසින් යම් පියවරක් ගනු ඇති බව ද එම නිලධාරියා කීය. දැනට හෙළිවෙමින් ඇති කරුණුවලට අනුව බන්ධනාගාර පද්ධතිය තුළ සිදුව ඇති මෙම අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට ජනපති කොමිසමක් හෝ ඒ හා සමාන බලතල ඇති කමිටුවක් පත්කිරීමට පවා සිදුවනු ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ බන්ධනාගාරයේ නිලධාරීන් කිහිප දෙනකුම හඳුනාගෙන ඇති බවත් ඒ අය සම්බන්ධයෙන්ද කඩිනමින් ඉදිරි පියවර ගනු ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.