මහනුවර පිහිටි නිෙවසේ පාතාලයේ අපරාධකරුවන් දෙදෙනකු රැඳී සිටි බව කියන සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) පැයක පමණ කාලයක් ප්‍රශ්නකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ විදුලි උපාංග අලෙවි කිරීමේ ප්‍රමුඛතම ආයතනයක අම්බලන්ගොඩ ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන මහනුවර පිහිටි නිෙවසේ පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් රැඳී සිටි බව අනාවරණය වී තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් එම නිෙවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ද සිදු කර තිබිණි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැයක පමණ කාලයක් දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්නකර ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතීවේදි උදය කුමාර වුට්ලර් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ, දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ බව තමා නොදන්නා බවය. ඒ ගැන සොයා බලා තොරතුරු ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.