අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බව ත් නියම කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙලෙස සඳහන් කළා:
“ස්වාමීනී… 2022 වසරේ දෙසැම්බර් මස අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන ආයතන හතරක සේවකයින්ට රක්ෂණාවරණය ලබා දීම සිදු කරනවා. නිසි මිල ගණන් කැඳවීමකින් පසුව තමයි එම රක්ෂණාවරණය ලබා දෙන සමාගම තෝරා ගන්නේ. ඒ අනුව පසුගිය වසර 10 තුළ එම රක්ෂණාවරණය සැපයීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තෝරා ගෙන තිබුණා. තැරැව්කාර රක්ෂණ සමාගම්වල සේවය ලබා ගෙන තිබුණේ නෑ. 2020 වසරේ දෙසැම්බර් මස 31 වන දා මෙම සැකකරු සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් කැඳවා, දැනුම් දී තිබෙනවා මේ රක්ෂණ කටයුතු “මයි ඉන්සුවරන්ස් බ්‍රෝකර්” නමැති සමාගමට පිරිනමන ලෙස. නමුත් එම ක්‍රියාවට එම නිලධාරීන් එකඟ වෙලා නෑ. ඒ අවස්ථාවේ දී කුවේට්හි කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමං වී සිටින මෙරට ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සඳහා සී.ආර්.සී. නමැති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සියයට 10ක කොමිස් මුදලක් “මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර් සමාගමට” නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලිපියකින් දැනුම් දෙන්නැයි ඇමතිවරයා වශයෙන් මේ සැකකරු සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිට හා අධ්‍යක්ෂ ජනරාල්ට බලපෑම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් එම ලිපිය රක්ෂණ සංස්ථාවට යොමු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සියයට 10ක කොමිස් මුදල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් අදාළ තැරැව්කාර සමාගමට මුදා හැර තිබෙනවා. මේ හරහා මේ සැකකාර අමාත්‍යවරයා අදාළ තැරැව්කාර සමාගමට වාසියක් වන ආකාරයෙන් කටයුතු කර ඇති අතර ඒ තුළින් රජයට රුපියල් 4,750,828.72ක පාඩුවක් සිදු කර තිබෙනවා” යනුවෙන් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා: “ස්වාමීනී… මේ පිළිබඳ ව “මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්” නමැති සමාගමෙන් අපි විමසීම් කළා. ඔවුන් සඳහන් කළා රක්ෂණ සංස්ථාවෙන් ලැබුණු මුදල් ආපසු අල්ලස් කොමිසමට ලබා දිය හැකි බව. මේ මුදල් පිළිබඳ ව අපි එම සමාගමේ හිමිකරුගෙන් ප්‍රශ්න කළා. එම ප්‍රකාශයට අනුව හෙළි වී තිබෙනවා එම මුදල් ගිණුම් පහකට හුවමාරු වී තිබෙන බව. එහෙත් කාගේ කොයි ගිණුමට මේ මුදල් ගමන් කළා ද කියලා ඒ පුද්ගලයා සඳහන් කරන්නේ නැහැ. මෙතන මුදල් විශුද්ධිකරණයක් සිදු වෙලා තිබෙනවා ද කියලා සැකයක් මතුවී තිබෙනවා. කාගේ ගිණුම්වලට ද මේ මුදල් ගමන් කළේ කියලා විමර්ශන කරන්න තිබෙනවා. මෙම තත්ත්වය යටතේ මෙම සැකකරුට ඇප නියම කළහොත් ඒ තුළින් විමර්ශනවලට බලපෑම් සිදු වෙන්න පුළුවන්. මොකද මේ සැකකරු දැනටමත් සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල්ට දුරකථනයෙන් කතා කර බලපෑම් කර තිබෙන බව හෙළි වී තිබෙනවා. ඇප දුන්නොත් මෙවැනි බලපෑම් සිදු විය හැකියි.” එම නිසා මෙම සැකකරුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්:
“ස්වාමීනි… කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමං වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් කුවේට් රාජ්‍යයේ සිර වී සිටියා. ඔවුන් ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඔවුන් ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් රජයට දැඩි බලපෑම් එල්ල වුණා. ඒ අනුව අදාළ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ සැකකරු කරුණු සොයා බැලුවා. ඔහු රාජ්‍ය ආයතනවලින් ඉල්ලීම් කළා. එහෙත් ආර්ථික අහේනිය නිසා සෑම ආයතනයක්ම කිව්වේ ඒ සඳහා මුදල් ලබා දිය නොහැකි බව. පසුව ඔහු සංචාරක හෝටල්වලින් ඉල්ලීමක් කළා. එම ආයතනත් කිව්වේ තමන් ආර්ථික අර්බුදයකට නතු වී සිටින නිසා මුදල් ලබා දිය නොහැකි බව. පසුව ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ සාකච්ඡා කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළා අපිට ගුවන් යානයක් දෙන්න පුළුවන්, ඒත් ඒකට අවශ්‍ය කරන මුදල් ඔයාලා හොයා ගන්න ඕන කියල. ඒ අනුව විවෘත සාකච්ඡාවක් කැඳවලා මේ සැකකරු රක්ෂණ තැරැව්කරුවන්ගෙන් ඒ මුදල ලබා ගන්න පුළුවන් ද කියලා සොයා බැලුවා. ඒ අනුව තමයි “මයි ඉන්සුවරන්ස් බ්‍රෝකර්” නමැති සමාගම තෝරා ගත්තේ. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය හරහා ලිපියක් යොමු කළා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට සියයට 10ක කොමිස් මුදලක් අදාළ තැරැව්කාර සමාගමට මුදා හරින ලෙස. ඒ අනුව එම මුදල රක්ෂණ සංස්ථාව විසින් අදාළ සමාගමට මුදා හැරියා. ඒ අනුව අර අතරමං ව සිටි ශ්‍රමිකයින් ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වුණා. මෙම කටයුත්ත ඉටු කිරීමේ දී මේ සැකකරු කිසිදු රජයේ නිලධාරියෙකුට බලපෑම් කළේ නැහැ. මේ ක්‍රියාවලියට මොහු සම්බන්ධ වුණේ නැහැ. මේ සියලු කටයුතු සිදු වුණේ සංචාරක සංවර්ධන අධිකාරියේ තීරණවලට අනුවයි. කුවේට් රාජ්‍යයේ අතරමං වී සිටි සේවකයින්ට ගෙන්වා ගැනීම සඳහා වැඩ කිරීම නිසයි මේ තත්ත්වය උදා වුණේ. එසේ නොකර නිකන් හිටියා නම් මෙහෙම නඩුවක් එන්නෙත් නෑ. ඔහු අද මේ අධිකරණයට එන්නෙත් නෑ” යනුවෙන් ප්‍රකාශ කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා: “ස්වාමීනී, මේ සැකකරු ප්‍රසන්න රණතුංග වීම නිසයි මොහු ව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා අල්ලස් කොමිසම ඉල්ලන්නේ. මොවුන්ට මේ සැකකරුව ලබන 21ට පෙර රිමාන්ඩ් කරන්න අවශ්‍යයි. ස්වාමීනී… මේ අල්ලස් කොමිසම ප්‍රකාශ කරනවා මේ සැකකරුට ඇප දුන්නොත් විමර්ශන කටයුතු වලට බාධා සිදු වෙන්න පුළුවන් කියලා. ඒක කිසිසේත් ම පිළි ගන්න බැහැ ස්වාමීනි. මොහු පරාජිත රජයක හිටපු අමාත්‍යවරයෙක්. මේ පරාජිත පුද්ගලයාට පුළුවන් ද? වර්තමානයේ ඉන්න රජයේ නිලධාරීන්ට බලපෑම් කරන්න. අනික ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා විමර්ශනයක් තිබෙනවා ය කියන පදනම මත සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න බැහැ කියලා. එහෙත් මේ අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. මේ සැකකරු ඇප මත මුදා හැරියා කියලා කිසිදු මහජන කැලඹීමක් ඇති වෙන්නෙත් නෑ. ඒ නිසා මේ සැකකරු ඕනෑම දරුණු ම අපරාධකරුවකුට ලබා දෙනු ලබන ඇප කොන්දේසි මත මුදා හරින්න කියලා මා ඉල්ලා සිටිනවා” යනුවෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින්: “ස්වාමීනි, මේ සැකකරු සැත්කමකට භාජනය වෙලා තිබෙනවා. වෛද්‍ය නිර්දේශවලට අනුව සාමාන්‍ය පරිදි ඔහුට ආහාර ලබා ගැනීමට හැකියාවක් නැහැ. පැය තුන හතරකට වරක් වෛද්‍යවරු නිර්දේශ කර තිබෙන පරිදි සුළු වශයෙන් තමයි ඔහුට ආහාර ලබා ගැනීමට සිදු වන්නේ. ඊට වෛද්‍යවරු නිර්දේශ කරනු ලබන ප්‍රෝටීන් සංඝටක ඇතුළත් විය යුතුයි. මෙම ආහාර රටාව අනුගමනය නොකළොත් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී කෝමා තත්ත්වයට පත්වීමේ අනතුරක් තිබෙනවා. එසේ වුවහොත් ඔහුගේ ජීවිතයට පවා අවදානමක් ඇති වෙන්න පුළුවන්” යනුවෙන් කියා සිටියා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ බව සැකකරු විසින් ප්‍රකාශ කළත්, එවැනි ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු විමර්ශනවල දී අනාවරණය වී නොමැති බව සඳහන් කළා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා: “මෙම සැකකරු සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිට හා අධ්‍යක්ෂ ජනරාල්ට දුරකථනයෙන් කතා කර තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයේ ප්‍රකාශ කළත්, ඒ බව අද දින වාර්තාවේ සඳහන් කර නැහැ. එම සිද්ධිය පිළිබඳ ව විමර්ශනයක් සිදු කර නෑ. එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙනත් නෑ. විමර්ශන සිදු කරන බව අද දින වාර්තාවේ සඳහන් කරලත් නෑ. ඒ අනුව සැකකරු විසින් සිදු කළ බව කියන බලපෑම් පිළිබඳ ව නිශ්චිත කරුණු දැක්වීමක් අධිකරණයට ඉදිරිපත් වී නෑ. ඒ අනුව සැකකරු ඇප පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහු ඇප මත මුදා හරින බවත් නියම කළා.