පුරා පැය හයකට වැඩි කාලයක් පෙරේදා (9 දා) රට පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් බත්තරමුල්ල පැලවත්තේ ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය වගවිය යුතු බව විදුලිබල මණ්ඩල සේවකයෝ පවසති.
රුපියල් කෝටි හාරසියයකට ආසන්න මුදලක් (බිලියන හතරක්) වැයකොට බත්තරමුල්ල, පැලවත්තේ ජාතික විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානයේ (National system control center) ස්ථාපිත කළේ තවදුරටත් රට අඳුරට පත් වන්නේ නැත (No More Black Out) යැයි පුරසාරම් දොඩමින් යැයි ඔව්හු පවසති.
මෙම මධ්‍යස්ථානය 2018 වසරේදී විවෘත කළ අතර 2015.09.27, 2016.02.25, 2016.03.13 සහ 2020.08.17, 2021.12.03 යන දින පහකදීම රට පුරාම මෙයාකාරයට පැය ගණනාවක් විදුලිය බිඳ වැටීම් සිදුව තිබුණු අතර පද්ධති පාලන මධ්‍යස්ථානයට එය යථාවත් කිරීමට පැය ගණනාවක් ගත කිරීමට සිදුවිය. එමෙන්ම රැහැන් මාර්ගයක හටගත් දෝෂයකට මුළු දිවයිනටම විදුලිය ඇන හිටින තත්ත්වයකට පත්වීම නිසා ඒ පද්ධති පාලන මධ්‍යස්ථානයත් සුදු අලියෙක් බවට ඔප්පු වූ බවද ඔව්හු කියා සිටිති.
කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයට වැදුණු බව කියන අකුණු පහරක් නිසා පෙරේදා පැය හයක්ම රට අඳුරට පත්වීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බවත් ඉංජිනේරුවන් දාහක් මණ්ඩලයේ සිටියදී මෙයාකාරයට පැය පහ හයක් රට අඳුරට වැටීම පිළිබඳ පාලනාධිකාරිය වගවිය යුතු බවත් සේවකයෝ කියති.
රුපියල් කෝටි ගණන් වැයකර ජාතික විදුලි පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර පුරසාරම් දෙඩූ කාලය තුළ පස්වතාවක් මුළු රටේම පැය ගණනාවක් විදුලිය බිඳ වැටුණු බවත් දහ වතාවක්ම පමණ අර්ධ වශයෙන් රටේ විදුලි බිඳ වැටීම් සිදුවූ බවත් වාර්තාවල සඳහන් වේ. මණ්ඩලය මුදලාලිලා අතට පත්කර අතමිට සරුකර නොගෙන පාලකයන් කළ යුතුව ඇත්තේ මේ අඩුපාඩු සකසා පාරිභෝගිකයන්ට හොඳ කාර්යක්‍ෂම සේවාවක් සැලසීම යැයි ද ඔව්හු කියා සිටිති.