පන්සල්, පල්ලි, කෝවිල් අපි එකතු කර ගත්තොත් මේ රට ගොඩදාන්න මහ කාලයක් යන්නේ නැතැයි ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීමත්, සන්නිවේදන සහ චින්තන කුසලතා වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක “ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක සහතිකපත් ප්රදානය බුත්තල යුදගනාව රජමහා විහාරස්ථානයේදී ඉකුත්දා පැවැත්විණි. යුදගනාව රජමහා විහාරාධිපති, අස්ගිරි පාර්ශ්වයේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් සහ ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය ඇතිව ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කර තිබෙනවා. මේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක පරිගණක පාඨමාලාවක වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වන අතර, එය සම්පූර්ණයෙන්ම නොමිලේ දැයේ දූවා දරුවන් වෙත ලබාදීමට ඩී.පී. එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා විසින් කටයුතු කරනවා.ඒ අනුව, බුත්තල ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මඟින් සහතිකපත් ලබාගන්නා සිසු සිසුවියන් සම්පූර්ණ කර ඇති අධ්‍යාපනයේ වටිනාකම රුපියල් කෝටි 200ක් වෙනවා.
“අපේ කැම්පස් එක සාමාන්‍යයෙන් දිනකට පැය 16ක් විවෘත කර තිබෙනවා. සාමාන්‍ය රජයේ කැම්පස් එකක් පැය 08යි විවෘත කර තිබෙන්නේ. අපි පැය 16ක් විවෘතව තියන්නේ ළමයින්ට පහසු වෙලාවට ඇවිත් ඉගෙන ගන්න දෙන්න ඕනෑ නිසයි. එහෙම විවෘත කර තිබෙන නිසා තමයි මේ ළමයින්ට කෙටි කාලයකින් මේ පාඨමාලා ඉගෙන ගෙන රැකියා කරන මට්ටමට එන්න පුළුවන් වෙන්නේ.
ඉස්සර අපට ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් වුවමනායි. ඒ වගේම ඒක ඉදිරියට කරගෙන යන්නත් මුදල් ඕනෑ. හැබැයි දැන් එහෙම නැහැ. මොකද කියනවා නම් පරිගණකයක් ඉස්සරහ ඉඳන් අපට දැන් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ව්‍යාපාර ඇඟිලි තුඩුවලට ඇවිත් තිබෙනවා කියන එකයි. ඒ වගේම තමයි රැකියාවක් කරන්න අපි දැන් කොහේවත් යන්න ඕනෑ නැහැ. ගෙදර ඉඳන්ම රැකියාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ රැකියාවත් පරිගණකයක් ඉදිරිපිට ඉඳගෙන කරන මට්ටමට දැන් ඇවිත් තිබෙනවා කියන එක නේද? මම ඉදිරියේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් දෙනවා. දැනුත් යම් යම් ප්‍රමාණවලින් රැකියා අවස්ථා දෙමින් ඉන්නේ. මේ මම දෙන රැකියා මිලියනයෙන් 1% ක ප්‍රමාණයක් ඒ කියන්නේ දහ දාහක පිරිසක් පරිගණකයෙන් කරන ව්‍යාපාර පටන් ගත්තොත් ඔවුනුත් තව මිලියනයකට රැකියා දෙයි.
ඒ කියන්නේ අද මේ ඉගෙනගන්න පිරිස ව්‍යවසායකයන් බවට පත්වී තවත් පිරිසකට රැකියා ලබාදෙන එක තමයි මම බලාපොරොත්තු වෙන්නෙත්. අපේ කැම්පස් එකේ ව්‍යාපෘති 325ක් ඉවර කරනව කියන්නේ ලෝකයේ තිබෙන හොඳම රැකියාවක් කරන මට්ටමට ඇවිත් තිබෙනවා කියන එකයි. ඒ කියන්නේ හොඳ වෙබ් සයිට් එකක් ඔයාලට හදන්න පුළුවන් කියන එකයි. මේ ව්‍යාපෘති 325 ඉවර කළාට පස්සේ විශ්වවිද්‍යාලවලින් උපාධියක් ගන්න අවශ්‍ය පරිසරයත් මම හදලා තිබෙන්නේ. ඒ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාල දැනටමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම මේ දරු දැරියන්ගේ මව්පියන්ගෙන් ඉල්ලනවා ළමයට මේ සහතිකය විතරක් අරන් දීලා නවත්වන්නේ නැතිව උපාධියත් ගන්න උනන්දු කරවන්න කියලා. මේ කැම්පස්වලින් උපාධිය ගන්නවා කියන්නෙම එයාල පොහොසතෙක්” කියන කාරණාවයි.
ශ්‍රී ලංකාවේ පෙර පාසල් 30000ක් විතර තිබෙනවා.මම පෙර පාසල් 1000ක් සුහුරු පෙර පාසල් විදියට හදලා තිබෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයත් අපි හදන්න ඕනෑ. ඒ වෙනුවෙන් මම සුහුරු පන්ති කාමර 675ක් මේ වන විට හදලා තිබෙනවා.ගමයි,පන්සලයි එකතු වුණොත් විතරයි මේ තිබෙන සංස්කෘතියත් එක්ක අපට මේ රට ගොඩදාගන්න පුළුවන් වෙන්නේ”යැයි ධම්මික මහතා වැඩිදුරටත් පැවසීය. මහා සංඝරත්නය ඇතුළු 6000කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
